රාජකීයයෝ රාජකීය ජයකින් “බ්‍රැඩ්බි පළිහ” දිනති

183

“බ්‍රැඩ්බි පළිහ” දෙවන අදියරය යටතේ පෙරේදා (05 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 27-17 ක ජයග්‍රහණයක් ලබා ගත් කොළඹ රාජකීය විදුහල සමස්ත තරගය ලකුණු 37-30 ක් ලෙස ජය ගෙන බ්‍රැඩ්බි පළිහ” තමන් සතු කර ගැනීමට සමත් වූයේය.

කොළඹ රාජකීය විදුහල එම ශුරතාවය හිමි කර ගත් 36 වැනි අවස්ථාව ලෙස එය සටහන් වේ.

මහනුවර ත්‍රිත්ව විදුහල පළමු අදියරය ලකුණු 13-10 ක් ලෙස පසු ගිය 29 වැනිදා ජය ගැනීමට සමත්ව තිබියදීත් එම පළමු අදියරේ දී ලත් පරාජයේ අවමානය මකා දමමින් කොළඹ රාජකීය විදුහල “බ්‍රැඩ්බි ශූරයෝ” ලෙස කිරුළු දැරීම විශේෂ කාරණයක් වූයේය.

රාජකීයයෝ රාජකීය ජයකින් “බ්‍රැඩ්බි පළිහ” දිනති
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරඟය නැරඹීම සඳහා සහභාගි වී සිටි අයුරු

පළමු සහ දෙවන අදියරේ දී සටහන් කර ගන්නා ලද ලකුණු එකතුව 37 – 30 (13- 10 + 27 – 17) ක් ලෙස ලකුණු 07 කින් පෙරමුණේ පසු වන්නට රාජකීයයන්ට හැකි වූහ.

පෙරේදා තරගයේ ප්‍රථම භාගය නිමාවන විට රාජකීය පිල ලකුණු 17 – 10 ක් ලෙස පෙරමුණේ පසු විය. ජයග්‍රාහී රාජකීය විදුහල උත්සාහක දිනුම් 05 ක් සහ එක් ප්‍රවර්තනයක් සාර්ථක කර ගැනීමට සමත් විය. පරාජිත ත්‍රිත්ව විදුහල සාර්ථක ප්‍රවර්තන 02 ක් සහිත උත්සාහක දිනුම් 02 ක් සහ එක් දඬුවම් පහරක් ආශ්‍රිතව තම ලකුණු පුවරුව ඉහළ නංවා ගත්තේය.

මෙම තරගය ගිහාන් යටවර මහතා විසින් විනිශ්චය කරන ලදි.

ඡායාරූප – කමල් වන්නිආරච්චි

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment