රාජ්‍ය නැකත් කමිටුවේ නැකත් සීට්ටුවට අලුත් අවුරුදු සමරන්න – සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

250

විවිධ මතිමතාන්තරවලට නොරැවටී රාජ්‍ය නැකත් කමිටුව විසින් සකස් කර ඇති 2024 වර්ෂයේ නැකත් සීට්ටුවට අනුව සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ඉටු කරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

1993 වර්ෂයේ සිට ප්‍රවීණ ජෝතිර්වේදීන්ගෙන් සමන්විත රාජ්‍ය නැකත් කමිටුව රැස්වී එම වර්ෂය සඳහා නැකත් සීට්ටුව සකසා ප්‍රසිද්ධියට පත්කිරීම මෙතෙක් පැවති සම්ප්‍රදාය බවත් ඒ අනුව 2024 වර්ෂයට අදාළ සිංහල අවුරුදු නැකත් සීට්ටුවද ඒ ආකාරයෙන්ම සකස් කර රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් 2023-10-02 දිනැතිව ප්‍රසිද්ධ කිරීම සඳහා අනුමැතිය ලබාදී ඇති බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.

මෙම නැකත් සීට්ටුව සකස් කිරීමට දායකවී එම නැකත් ශාස්ත්‍රානුකූල සහ නිවැරදි බවට එකඟ වී අත්සන් ලේඛනයේ අත්සන් තබා ඇති ජෝතිර්වේදියකු තවත් සුළු පිරිසක් සමග සම්බන්ධ වී මෙතෙක් පැවති සම්ප්‍රදායික ක්‍රමවේදයට අභියෝග කරමින් නොයෙක් සමාජ මාධ්‍ය ඔස්සේ නැකත් සීට්ටුව සම්බන්ධයෙන් විරෝධතා දක්වා ඇති බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

එබැවින් එවැනි මතවලට නොරැවටී රාජ්‍ය නැකත් කමිටුව විසින් සකස් කර ඇති නැකත් සීට්ටුවේ ඇති නැකත් අනුව සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරන ලෙසද බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඒ අනුව ආහාර පිසීම අප්‍රේල් මස 13 වැනිදා සෙනසුරාදා රාත්‍රී 11.06ට නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ ගිනි මොලවා තල, උක්, හකුරු මිශ්‍ර කිරිබතක්ද තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කරගත යුතුය.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය අප්‍රේල් මස 13 වැනිදා සෙනසුරාදා මධ්‍යම රාත්‍රී 12.06ට හෙවත් අප්‍රේල් මස 14 වැනිදා ඉරිදා එළිවන පාන්දර 00.06ට නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කළ යුතුය.

හිසතෙල් ගෑම අප්‍රේල් මස 15 වැනිදා සඳුදා පූර්ව භාග 10.17ට ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල්පත් ද පයට ඉඹුල්පත්ද තබා දිවුල්පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment