හීලෑ ‘අග්බෝ’ චණ්ඩියෙක් වෙලා

73

ගොවීහු මැසිවිලි නඟති
රජයේ වන අලි පලවා හැරීමේ මෙහෙයුමට අග්බෝට ප්‍රමුඛත්වයක් ඉල්ලති
අක්කර 200ක වගාව මෙවර අක්කර 30ටත් වඩා අඩු වෙලා
අග්බෝ ඉවත් කරගන්න අපිත් ඉහළට ඉල්ලීම් කර තිබෙනවා
තිරප්පනේ වනජීවි කාර්යාල නිලධාරියෙක් දන්වයි

හීලෑ ‘අග්බෝ’ චණ්ඩියෙක් වෙලා

තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතුන්ගම උතුර – දකුණ ඇතුළු ගම්මාන 10කට ආසන්න ප්‍රමාණයක වගා භූමිවලට අග්බෝ ඇතාගෙන් දිනපතා හානි පැමිණෙන බව ගොවීහු පවසති.

මේ නිසා තමන් වෙහෙස මහන්සිවී වගා කරන බඩඉරිඟු වැනි ගොඩ බෝග වගාවන් ද, කොස්, පොල්, මඤ්ඤොක්කා, කෙසෙල් යනාදී වගා අතරින් එක් රැයකට විශාල වගා ප්‍රමාණයක් විනාශ කරන බව ද ගොවීහු කියති. ඇතුන්ගම, ඒරුවැව, මාරාකුලම, අක්කරපනහ, පිත්තලකොන්ඩෑරුම, කණුමුල්ලේගම, වන්නම්මඩුව, කරඹේ, ගල්කිරියාගම සහ උලගල්ල ඇතුළු තවත් ගම්මාන බොහොමයකට අග්බෝ ඇතාගෙන් මෙලෙස හිරිහැර සිදුවන බවට ගොවීහු මැසිවිලි නඟති.

මේ පිළිබඳ අවස්ථා ගණනාවකදීම අදාළ නිලධාරීන් හා වගකිවයුතු අංශ දැනුවත් කළ ද ගොවීන්ගේ ඉල්ලීම් තුට්ටු දෙකකටවත් මායිම් නොකොට නිලධාරීන් අග්බෝ ඇතා මේ ප්‍රදේශවලම රඳවා ඉන් යැපෙන තත්ත්වයට පත්ව ඇතැයි ගොවීහු චෝදනා කරති.

මේ නිසා ගොවිබිම් දිනෙන් දින විනාශ වන අතර වර්තමානය වනවිට ඇතුන්ගම ගොවීන් විශාල පිරිසක් ගොවිතැන අත්හැර ඇතැයි ද කීය. විශේෂයෙන් මාස් කන්නයේ බඩඉරිඟු අක්කර 200ක් පමණ වගා කෙරෙන අතර මෙවර අක්කර 30ටත් වඩා අඩු ප්‍රමාණයක් වගා කර ඇතැයි ද ගොවීහු පෙන්වා දෙති.

වර්තමාන රජය මගින් ක්‍රියාත්මක කරන වන අලි පලවා හැරීමේ මෙහෙයුමට අනුව අග්බෝ ඇතා සුරක්ෂිත ස්ථානයකට රැගෙන යෑම ප්‍රමුඛ කටයුත්තක් සේ සලකා ක්‍රියාත්මක කරන ලෙසත්, එසේ නොවුණහොත් ඉතිරි වී තිබෙන ගොවිතැනත් අග්බෝ ඇතාටම සින්න වන බැවින් ඇතාගේ ජීවිතයේ පූර්ණ වගකීම නිලධාරීන් භාර ගත යුතු බවට ගොවීහු රතු එළි දල්වති.

කලින් හීලෑ වී සිටි අග්බෝ දැන් ප්‍රචණ්ඩ වී ඇති බවත්, මේ නිසා නුදුරු දිනක දී ම මිනිස් ජීවිතයක් උදුරා ගැනීම වැළැක්විය නොහැකි බවත්, මේ පිළිබඳ ප්‍රමුඛ අවධානයක් යොමු කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ගොවීහු ඉල්ලා සිටිති.

රටට වටිනා සම්පතක් වන අග්බෝ තවදුරටත් රැක ගැනීමට නම් නොපමාව වන ජීවී අංශයේ ඉහළ නිලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු විය යුතු බව ගොවීහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් තිරප්පනේ වනජීවි කාර්යාලයෙන් විමසීමේදී එහි නිලධාරියකු මෙසේ කීය.

ඇත්තටම අග්බෝ ඇතාව ඉවත් කරගන්න මේ ඉල්ලීම අපිත් කරලා තියෙන්නේ වනජීවි කාර්යාලය හැටියට. මොකද මේ වනවිට අග්බෝ ඇතාගේ ජීවිතයට දැඩි තර්ජනයක් තිබෙනවා. හැමදාම මිනිසුන්ගේ හේන් ගොවිතැන් විනාශ කරන නිසා දිනෙන් දිනම ඇතා පිළිබඳ තියෙන වෛරය ගොවීන්ගේ දැන් වැඩිවෙලා තිබෙන්නේ. ගොවීන්ගේ යැපුම් හා ආර්ථික කෘෂිකර්මාන්තයට වන හානිය දිනෙන් දිනම වැඩිවෙනවා. වෙනදා වගේ නොවෙයි. දැන් මේ අග්බෝ ඇතා හේනකට වැදුණහම එළව ගන්න හරිම අමාරුයි. මොකද අලි වෙඩිවලට පවා දැන් ඌ හුරු වෙලා ඒවාට බය නෑ. වනජීවිය හැටියට ඉහළ නිලධාරීන්ට අපිත් කරන එකම ඉල්ලීම, එකම උත්සාහය මේ ඇතා මේ ප්‍රදේශයෙන් ආරක්ෂිත ස්ථානයකට රැගෙන යෑමයි.

තිරප්පනේ – සමන් පෙරේරා


advertistmentadvertistment