හොර ඒජන්සි මගින් මෙවැනි විපතක් මීට පෙර කවදාවත් සිදුවී නැත

693

හොර ඒජන්සි යනු මොනවාද? මෙයින් හඟවන්නේ මෙම ඒජන්සි මගින් හොර නමැති දැව වර්ගය විකුණන බවද? හොර ඒජන්සි යන වචනය මේ රටේ ජනවහරට එකතුවන්නේ 1980 න් පසුය. ඒ පිළිබඳ කතාව මෙසේය. 1974 අවසන් වන විට තෙල් සම්පත්වලින් ලැබෙන මුදල් නිසා අරාබිකරය ඉතා වියදම් සහගත රටවැසියන් සිටින ප්‍රදේශයක් බවට පත්විය. තෙල්වලින් ලැබෙන ආදායමෙන් කොටසක් රට වැසියන්ට ද හිමි වූ බැවින් රස්සාවක් නොකරම කෝටිපතියන් වීමේ අවස්ථාවක් මැදපෙරදිග තෙල් රටවල සිටින ජනයාට ලැබිණ. මේ ධනවත් මිනිසුන්ගේ ගෙවල්වල මෙහෙකාරකම් කිරීමට ආසියාවේ දුප්පත් රටවලින් ගැහැනුන් සහ පිරිමින් ගෙන්වන ලදි. ගැහැනු ගෙවල්වල housemaid කටයුතු කළ අතර පිරිමි ඩ්‍රයිවර් වැඩ ඇතුළු ඇඟ වෙහෙසන ශ්‍රමික කටයුතුවල නිරත වූහ. මිනිසුන් සහ ගැහැනුන් රට පැටවීම කරන ලද්දේ අරාබිකාරයන් සහ අපේ රටේ ව්‍යාපාරිකයන් එකතුවී පිහිටුවන ලද ආයතන මගිනි. මේවා විදේශ රැකියා ඒජන්සි ලෙස හඳුන්වන ලදි. කබල් බිල්ඩින්වල උඩ තට්ටුවලත්, ගෙවල්වල අගු පිල්වලත් මේ ඒජන්සි පිහිටුවා තිබිණ. කිසිදු ලියාපදිංචියක් නැති නිසා එම ඒජන්සි මගින් රට යෑමට කැමති මිනිසුන් සහ ගැහැනුන් නිදහසේ ගසාකන ලදි. ඇතැම් ඒජන්සිකාරයෝ මිනිසුන් රට යවන බව පවසා සල්ලි ගෙන අතුරුදන් වූහ. සල්ලි ගෙවූ මිනිසුන් එම සල්ලි හොයාගෙන තිබුණේ තම එකම නිවස සහ ඉඩම උකස් තැබීමෙනි. ඒජන්සිකාරයා අතුරුදන් වූ විට මිනිස්සු පොලිසි ගියහ. මේ නිසා මෙම ඒජන්සි යථාවත් කළ යුතු බව වටහාගත් ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව 1985 දී විදේශ රැකියා පනත නමැති පනතක් පිහිටුවා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය ස්ථාපනය කළේය. එයින් පසු සියලුම ඒජන්සිකරුවන්ද පිටරට යන අයද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම අනිවාර්ය විය. එසේ ලියාපදිංචි නොවී මිනිසුන් රට යවන ඒජන්සි හොර ඒජන්සි ලෙස හඳුන්වන ලදි. ඉහත සඳහන් පූර්විකාව අපගේ කතුවැකියට කෙළින්ම සම්බන්ධ නැතත් පාඨකයාගේ දැනුම වර්ධනය කිරීම සඳහා පළ කිරීමට කල්පනා කළෙමු.

දැනට රුසියාවේ සහ යුක්‍රේනයේ අතරමංවී සිටින ශ්‍රී ලාංකික කුලී හේවායන් සියලුමදෙනා රට පටවන ලද්දේ හොර ඒජන්සිකාරයන් විසිනි. රුසියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ද ශ්‍රී ලංකාවේ සිටින රුසියානු කාන්තාවක් ද විශ්‍රාමික මේජර් ජෙනරල් කෙනෙක් ද විශ්‍රාමික සාජන් මේජර් කෙනෙක් ද මේ රට පැටවීම් සිදුකරන බව සොයාගෙන තිබේ. මේ ඒජන්සිකරුවෝ විශ්‍රාමික හමුදා සොල්දාදුවන් සිටින තැන් සොයාගොස් රුසියාවේ යුද හමුදාවට බැඳීමට ඔවුන්ට අවස්ථාව ඇති බවත් රුසියාවට ගිය සැණින් එසේ යන අයට පී ආර් පහසුකම හෙවත් නේවාසික වීසා ලැබෙන බවත් තවත් තුන් මාසයකින් ඔවුන්ගේ පවුල්වල අයට ද නේවාසික වීසා ලැබෙන බවත් කියන්නට පටන් ගත්හ. ප්‍රභාකරන් පවා පරාජයට පත්කළ අපේ රණවිරුවෝ මේ කතාවෙන් රැවටී ගේ දොර උකස් තබා ඒජන්සිකාරයන්ට ලක්ෂ 20 බැගින් සල්ලි දී රුසියාවට පැමිණියහ. ඇත්තටම සිදුවී තිබුණේ ඒජන්සිකරුවන් විසින් රණවිරුවන්ගෙන් මුදල් ලබාගනු ලැබ ඔවුන් රුසියාවේ Man Power සමාගමකට විකුණා තිබීමය. මේ නිසා එක රණවිරුවකුගෙන් රුපියල් ලක්ෂ 20 ක්ද Man Power සමාගමෙන් එක රණවිරුවකු සඳහා රුපියල් ලක්ෂ 20 ක්ද යනාදී වශයෙන් ලක්ෂ 40 ක් උපයා ගැනීමට ඒජන්සිකරුවන්ට හැකි වීමය. මෙසේ ගේ දොර උකස් තබා රුසියාවට සහ යුක්‍රේනයට ගොස් සිටින ශ්‍රී ලාංකික රණවිරුවන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා ඇත. මේ දාහ රුපියල් ලක්ෂ 40 න් වැඩි කළ විට ඒජන්සිකරුවන් උපයාගත් ධනස්කන්ධය ගැන දළ අදහසක් ලබාගැනීමට ඔබට පුළුවන. Man Power සමාගමට විකුණන රණවිරුවා එම සමාගම විසින් කෙළින්ම රුසියාවේ වැග්නර් නමැති කුලී හමුදාවට විකුණන ලදි. වැග්නර් සමාගම අපේ රණවිරු කුලී හේවායන්ට කෙළින්ම වැටුප් ගෙවන්නේ නැත. ඔවුන් ඒවා ගෙවන්නේ Man Power සමාගමටය. Man Power සමාගම එම වැටුප් තොගය රුසියාවේ සහ ලංකාවේ සිටින ඒජන්සිකරුවන්ට ගෙවනු ලැබේ. වැග්නර් සමාගමේ අවසන් අරමුණ වන්නේ එම මුදල් ඒජන්සිකරුවන් විසින් කුලී හේවායන්ට ලබා දීමය. එහෙත් ඒජන්සි බ්‍රෝකර්ලා එම මාසික වැටුප් සියල්ල සාක්කුවේ දමා ගනිති. ඒ නිසා අපේ මිනිසුන්ට දවසකට එක වේලක කෑම බීම හැර වෙනත් තඹ සල්ලියක්වත් ලැබෙන්නේ නැත.

කුලී හේවායන් ලෙස රුසියාවට ගොස් විවිධ අඩන්තේට්ටම්වලට ලක්වී යුක්‍රේනය පැත්තෙන් පැන ගොස් ලංකාවට පැමිණි සිංහලයන් දෙදෙනෙක් පසුගිය දිනවල රූපවාහිනිය ඔස්සේ තමන් රුසියාවේදී විඳි දුක් හෙළිදරව් කිරීමට පටන්ගෙන තිබේ. රුසියාව සහ යුක්‍රේනය අතර තනිකරම ඇත්තේ ඩ්‍රෝන සහ මිසයිල යොදාගෙන කරන යුද්ධයකි. ඩ්‍රෝනය මිසයිලයට වඩා භයානකය. එය සතුරා සොයාගෙන ගොස් පහරදෙයි. එක තැනක ඩ්‍රෝනයක් පුපුරන විට එතැන සිටින හත් අට දෙනෙක් මියගොස් විස්සකට තිහකට තුවාල සිදුවෙයි. මේ නිසා රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධයට මැදිව සිටින ලොව සියලු රටවල කුලී හේවායන් සිටින්නේ මරණය දැක දැකය. සටන් පවතින ප්‍රදේශවල සිරවී සිටි ඉන්දියානුවන් සියලුමදෙනා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ අණ පරිදි බේරාගන්නා ලදි. මේ දිනවල නරේන්ද්‍ර මෝදි ඊළඟ මහ මැතිවරණයට සූදානම් වෙයි. තම රටේ මිනිසුන් බේරා නොගත්තේ නම් නරේන්ද්‍ර මෝදිට ඡන්ද සෑහෙන ප්‍රමාණයක් අහිමි වනවා ඇත. රුසියාවට ගුවන් යානා යවා ඉන්දියානු කුලී හේවායන් බේරාගෙන පැමිණි නරේන්ද්‍ර මෝදි මේ වතාවේදී ද ස්ථිරවම ඡන්දයෙන් ජයගන්නවා ඇත. මෝදි යැවූ ආකාරයෙන් රුසියාවට ගුවන් යානා යවා අපේ කුලී හේවායන් බේරා ගැනීමේ ශක්තියක් ලංකාවට නැත. අනෙක ඉන්දියාව සහ රුසියාව අතර ඇති සම්බන්ධය ලංකාව සහ රුසියාව අතර නැත. එබැවින් මේ ප්‍රශ්නය විසඳීම ජනාධිපති වික්‍රමසිංහට කිරීමට සිදුවන්නේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන්ම සිදුකිරීමය. රුසියාවේ අතරමංවී සිටින අපේ රටේ කුලී හේවායන් පිළිබඳ තොරතුරු රැස්කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ දිනවල සිදුකරනු ලැබේ. දැනට අපට ඉතිරිව ඇත්තේ එම ඒකකයට තොරතුරු ලබාදී යමක් සිද්ධ වන තුරු බලා සිටීමටය.

advertistmentadvertistment
advertistmentadvertistment