හොර සල්ලි අච්චු ගැසූ තඹුත්තේගම සිව්දෙනෙක් දැලේ

27

රුපියල් පන්සියයේ ව්‍යාජ මුදල් නෝට්ටු එකසිය හතළිස් නවයක්, පන්දහසේ ව්‍යාජ නෝට්ටු අටක් සහ ඒවා මුද්‍රණය කිරීමට යොදාගත් පරිගණක මුද්‍රණ යන්ත්‍රයක් සමග සැකකරුවන් සිව්දෙනෙක් තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 25 දා රුපියල් පන්සියයේ නෝට්ටු තුනක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු තඹුත්තේගම පොලිසිය විසින් තඹුත්තේගම නගරයේදී අත් අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරු මත සෙසු සැකකරුවන් තිදෙනා පෙරේදා (26 දා) සවස මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

නොච්චියාගම උඩුනුවර ජනපදයේ පදිංචි විසිහතර හැවිරිදි වියෙහි පසුවන සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් බව කියන පරිගණක යන්ත්‍රයක් සමග මුලින් අත්අඩංගුවට ගෙන තිබිණි.

පසුව අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් වන හෙට්ටිපොළ පන්සල පාර, කොට්ටම්පිටිය සහ නුවරගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බව තඹුත්තේගම පොලිසිය පවසයි.

එම සැකකරුවන් අවුරුදු 49, 63 සහ 24 වියෙහි පසුවන්නන් බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මේ අතර එම සැකකරුවන් විසින් තම සන්තකයේ තිබූ එම ව්‍යාජ මුදල් නෝට්ටුවලින් බොහොමයක් පසුගිය පොසොන් උත්සවය නිමිති කොටගෙන ඉකුත් 20 වෙනිදා සිට මේ මස 30 වෙනිදා දක්වා තඹුත්තේගම නගරයේ ස්වර්ණ හංස ක්‍රීඩාංගණයේදී පවත්වා ගෙන යන සැණකෙළියට සහභාගී වූ ජනතාව අතරේ සංසරණය කරන්නට ඇති බවටද පොලිසිය සැක පහළ කරයි.

සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් ඊයේ (27 දා) තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර අධිකරණ නියෝග මත ඔවුන් වැඩිදුර විමර්ශන පැවැත්වීම සඳහා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතව තිබිණ.

මේ පිළිබඳව තඹුත්තේගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. පී. ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබිණ.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු සහ මකුලෑව – එල්. අනුර කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment