ශාන්ත පීටර් චතුරශ්‍රය අවට දැඩි ආරක්ෂාවක්
අවසන් කටයුතු දැකබලා ගන්න රජ පවුල් නියෝජිතයන් ඇතුළු ප්‍රභූවරු 130ක්-ලක්‍ෂ දෙකක ජනතාවක් අද එති
අවමඟුල් ආගමික මෙහෙය පැය දෙකහමාරක්
ලොව පුරා විසිරී සිටින බිලියන 1.4ක් වූ කතෝලික ජනතාවගේ නායකයා වශයෙන් වසර 12ක කාලයක් කටයුතු කළ ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද (26) දින සිය බැතිමතුන් හඬවමින් අවසන් ගමන් යෑමට නියමිතය. දිගු කලක් අසනීප තත්ත්වයෙන් පසු වෙමින් සිට ඉකුත් සඳුදා (21)
ස්වර්ගස්ථ වූ 88 හැවිරිදි වියෙහි පසු වූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය බදාදා (23) උදෑසන සිට මහජනතාවට අවසන් බුහුමන් දැක්වීම සඳහා වතිකානුවේ ශාන්ත පීටර් බැසිලිකා දෙව් මැඳුරේ තැන්පත් කර තිබූ අතර උන්වහන්සේට අතිවිශාල දෙස් විදෙස් බැතිමතුන් පිරිසක් විසින් සිය අවසන් ගෞරවය දක්වා තිබූ බව වාර්තා වෙයි. ඊයේ (25) දහවල් වන විටද දසදහස් ගණනක් වූ ජනකායක් පාප්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමේ අරමුණින් ශාන්ත පීටර් බැසිලිකා දෙව්මැඳුර ඉදිරිපිට වීථියේ පෙළ ගැසී සිටි බව විදෙස් මාධ්‍ය පවසයි.
බැසිලිකා දෙව්මැඳුරේ පාප්වහන්සේගේ දේහය තැන්පත් කර ඇති පෙට්ටිය ඊයේ රාත්‍රි 8ට සීල් තබා විශේෂ ආගමික මෙහෙයක් පැවැත්වීමට නියමිතව තිබුණි. එම මෙහෙය සඳහා කාදිනල්තුමන්ලා ගණනාවක් හා වතිකානුවේ සිට ක්‍රියාත්මක වන ගෝලීය කතෝලික පල්ලිවල පාලනාධිකාරය සහභාගි වීමට නියමිතව තිබිණි. මෙම ආගමික මෙහෙය රෝමානු පල්ලියේ කෙවින් ෆැරල් කාදිනල්තුමා විසින් පැවැත්වීමට නියමිතව තිබූ අතර ඒ සමගම පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම අවසන් කෙරෙන බව නිවේදනය කර තිබේ. පාප්වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන ශාන්ත පීටර් චතුරශ්‍රය අවට අධික ආරක්ෂාවක් යොදවා තිබෙන ඉතාලි හා වතිකානු බලධාරීන් විසින් ගොඩනැඟිලිවල වහලවල් මත ස්නයිපර් තුවක්කුකරුවන් රැඳී සිටීම වැළැක්වීම සඳහා ඩ්‍රෝන යානා යොදවා ඇති අතර ප්‍රහාරක ජෙට් යානා ද සීරුවෙන් තබා තිබේ. අද (26) දින උදෑසන 10ට සිදු කෙරෙන පාප්වහන්සේගේ අවසන් කටයුතු දැක බලා ගැනීම සඳහා ලෝක නායකයන්, රජ පවුල්වල සාමාජිකයන් ඇතුළු ප්‍රභූවරු 130ක් පමණ දෙනෙකු මෙන්ම ලක්ෂ දෙකක පමණ ජනකායක් පැමිණීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ඇතුළු රාජ්‍ය නායකයන් ගණනාවක් මෙන්ම විලියම් කුමරු ඇතුළු විවිධ රටවල රජ පවුල් සාමාජික සාමාජිකාවන් පිරිසක් අද දින වතිකානුවේ පැවැත්වෙන අවමඟුල් උත්සවයට සහභාගි වන බව තහවුරු කර තිබේ. එයට සහභාගී වීම සඳහා ඊයේ සිටම ලොව නන් දෙසින් කතෝලික පූජකතුමන්ලා වතිකානුවට පැමිණෙමින් සිටි බව වාර්තා විය. පාප් වහන්සේගේ අවමඟුල් උත්සවය පැවැත්වෙන ආගමික මෙහෙය පැය දෙකහමාරක පමණ කාලයක් පැවැත්වෙන බව ප්‍රකාශ වී ඇත. එය පවත්වනුයේ ජුවානි බැට්ටිස්ටා රේ කාදිනල්තුමා විසිනි. ලීයෙන් තැනූ පෙට්ටියක තැන්පත් කර තිබෙන ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය උන්වහන්සේගේ අවසන් කැමැත්තට අනුව සරල ආකාරයෙන් භූමදානය කිරීමට නියමිත බව වතිකානුව විසින් නිවේදනය කර තිබේ.
ඒමන්ති මාරඹේ