බෝට්ටු 25ක් විනාශයි – රජයෙන් සහනයක් දෙන්න
පසුගියදා ලංකාව හරහා ගිය ෆෙන්ගල් සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මෙරට සමස්ත ධීවරයන්ට මුහුණ දීමට සිදුවූයේ ඉතාමත් ශෝචනීය තත්ත්වයකි. උතුරේ මෙන්ම දකුණෙත් නැඟෙනහිර පළාතෙත් ධීවර ජනතාව ඉන් ඉතා අසරණ තත්ත්වයට පත්වූ අතර රජයේ අනතුරු ඇඟවීමත් සමග ධීවරයන් මුහුදු යෑම තාවකාලිකව නතර කිරීමට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස ධීවර ජනතාවගේ ආර්ථිකය කඩාවැටීමත් මත්ස්‍ය මිල ගණන් සිව් ගුණයකින් පමණ ඉහළ යෑම නිසා පාරිභෝගික ජනතාවට ද සිදුවූයේ ඉතා අධික මිලකට මාළු මිලදී ගැනීමටය.
එම අයහපත් කාලගුණික තත්ත්වය මේ වන විට දිවයිනෙන් බැහැරව ගිය ද තවමත් එහි ඵල විපාක විඳීමට නැඟෙනහිර පළාතේ ආරුගම්බේ ධීවරයන්ට සිදුව තිබේ. එම කුණාටුවත් සමග ඇතිවූ ජල ගැල්ම හේතුවෙන් ආරුගම්බේ ධීවර තොටුපළෙහි නවතා තිබූ ධීවර බෝට්ටු විසිපහකට ආසන්න ප්‍රමාණයක් ජල රකුසාට බිලිවීම නිසා එම බෝට්ටු කැඩීබිඳී ගොස් ඇති බව එම ධීවරයෝ පවසති. ඉකුත් මාසයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට නිවේදනය කිරීමත් සමග සංචාරකයන්ගේ පැමිණීම විශාල වශයෙන් අඩාල වූ බව පවසන එම ජනතාව ධීවර ක්‍ෂේත්‍රයෙන් හෝ ඔළුව උස්සන්න හදන විටම ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා ධීවර බෝට්ටු ද විනාශවීමේ ශෝචනීය තත්ත්වයක් ඇතිවූ බවයි. එම නිසා වත්මන් ආණ්ඩුවේ අවධානය සහ ධීවර ඇමැතිවරයාගේ ඍජු මැදිහත් වීමක් සිදුකොට විනාශ වූ ධීවර යාත්‍රා නැවත පිළිසකර කරගැනීමට සහයෝගය ලබා දෙන ලෙස ආරුගම්බේ ධීවර ජනතාව සඳහන් කරති.
මෙහිදී අදහස් දැක්වූ දුෂාන්ත මහතා, දීර්ඝ කාලයක් තිස්සේ ආරුගම්බ මුහුදේ ධීවර කටයුතු සිදු කරනවා. මේ රැකියාවෙන් තමයි අපි ජීවත් වෙන්නේ. අයහපත් කාලගුණයත් සමග ඇතිවූ සුළං තත්ත්වයෙන් ලක්‍ෂ ගණනක් වටිනා බෝට්ටු සුළඟට ගසාගෙන ගිහින් විනාශ වුණා. බෝට්ටුවක් ලැබෙනතෙක් අපිට රැකියාව නැහැ. ඒ නිසා රජයෙන් ආධාරයක් බලාපොරොත්තු වෙනවා.
මෙහිදී අදහස් දැක්වූ තවත් ධීවරයකු පැවසුවේ
ලක්‍ෂ දහයක් පමණ වටිනා ඇන්ජිම හා බෝට්ටුව සුළිකුණාටුවට හසුවී විනාශ වී ගියා. අපිටත් ගොවීන්ට ලබාදෙන වන්දි වගේ සහනයක් ධීවරයන් වෙත ලබාදෙන්න.
මෙහිදී අදහස් දැක්වූ බෝට්ටු හිමියකු වන නිහාල් මහතා, අධික වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්ත්වයෙන් මුහුද ගොඩට ගලාගෙන ඇවිත් රාත්‍රියේම මගේ බෝට්ටුව ගසාගෙන ගොස් ගල්වල වැදී විනාශවී තිබුණා. මේ අන්දමට බෝට්ටු 25ක් පමණ විනාශ වී තිබෙනවා. මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුකර සහනයක් ලබාගෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.
පානම – පී. විජේසේකර