18 අවුරුද්දකට පසු අපට ලැබෙන හොඳම ආධ්‍යාත්මික අත්දැකීම

501

දැනට සහතික කරගත් පුරාවිද්‍යාත්මක සාක්‍ෂිවලට අනුව සිද්ධාර්ථ කුමාරයා උපත ලැබුවේ ක්‍රි. පූ. 566 දීය. ක්‍රි. පූ. 531 දී උන්වහන්සේ බුද්ධත්වයට පත් වූහ. බුදුන් වහන්සේගේ සම්පූර්ණ ආයු කාලය අවුරුදු 80කි. ඒ අනුව උන්වහන්සේ ක්‍රි. පූ. 486 දී පරිනිර්වාණයට පත්වී යැයි විශ්වාස කෙරේ. පරිනිර්වාණයට පෙර, මාරදිව්‍ය පුත්‍රයා විසින් බුදුන් වහන්සේට පරිනිර්වාණය සඳහා ආරාධනා කරන ලද කල්හි, බුදුහු ආනන්ද හාමුදුරුවන්ට මෙසේ කියා වදාළහ. ආනන්ද, මගේ ශරීරය දැන් සමාන වන්නේ අතනින් මෙතැනින් එකතු කර ගැටගසන ලද දිරාපත්වුණු කරත්තයකට යි. ඒ නිසා පරිනිර්වාණය සඳහා කාලය පැමිණ තිබේ. මෙසේ වදාළ උන්වහන්සේ, වෛශාලී නුවරට ද අනතුරුව පාවා නුවරට ද වැඩම කළහ. එහිදී චුන්දකම්මාර පුත්‍රයා විසින් පිරිනමන ලද බිම්මල් දානයක් උන්වහන්සේ වැළඳූහ. අනතුරුව උන්වහන්සේගේ රෝගාතුර බව බරපතළ වූහ. ඒ බව දුටු ආනන්ද ස්ථවිරයෝ උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු ගත යුතු පියවර ගැන විමසී යැයි කියනු ලැබේ. එවිට උන්වහන්සේ සිය ධාතූන් වහන්සේලා සම්බන්ධයෙන් ගත යුතු පියවර කියා දුන්හ.

සම්බුද්ධ පරිනිර්වාණය පිළිබඳ ඉතාම නිවැරදි තොරතුරු ඉන්දියාවේ හිමාචාල් ප්‍රදේශයේ ස්පිටි නමැති නිම්නයේ පිහිටි ටැබෝ නමැති ගම්මානයේ තිබෙන ලෝකයේ පළමු වන බෞද්ධ විහාරාරාමයේ තැන්පත් කර තිබූ බවට සාක්‍ෂි තිබේ. මේ විහාරාරාමය සාදන ලද්දේ ක්‍රි.ව. 996 දීය. තිබ්බත බෞද්ධයකු වූ භාෂා පරිවර්තකයකු විසින් මෙය ඉදිකරන ලදී. අප දන්නා පරිදි දන්ත ධාතුන් වහන්සේලා පිළිබඳ සියලු විස්තර එම විහාරාරාමයේ තිබී ඇත. මේ වනවිට ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව ඇතුළු රටවල් 4ක පමණ දන්ත ධාතු මන්දිර පිහිටා තිබේ. මේ ධාතු මන්දිර අතරින් වැඩිම පිළිගැනීමකට සහ වන්දනාවකට ලක්වී ඇත්තේ ශ්‍රී ලංකාවේ මහනුවර පිහිටි දළදා මාලිගාවටය. 18 අවුරුද්දකට පසු දන්ත ධාතුන් වහන්සේගේ ප්‍රදර්ශනයක් අද සිට නුවර දළදා මාලිගයේ දී ආරම්භ වනවා ඇත. මෙයට විසි ලක්‍ෂයක ජනගහනයක් සහභාගි වන බව ආණ්ඩුව ඇස්තමේන්තු කර තිබේ. එහෙත් අපට හිතෙන පරිදි මේ ප්‍රමාණය තිස් ලක්‍ෂය ඉක්මවනවා ඇත.

කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමා විසින් ශ්‍රී ලංකාව පාලනය කරන සමයේ දී ඉන්දියාවේ කාලිංග දේශයෙන් නැව් නැඟි තරුණ බ්‍රාහ්මණ වංශික යුවළක් වූ හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් ශ්‍රී දළදා වහන්සේ මෙරටට වැඩම කළ බවට ජනවහරේ විස්තර කෙරේ. ශ්‍රී දන්ත ධාතුව විවිධ යුගවලදී මේ රටේ විවිධ ප්‍රදේශවල තැන්පත් කර තබන ලදි. අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය, දඹදෙණි යුගය, යාපහුව යුගය, කුරුණෑගල යුගය, ගම්පොළ යුගය, කෝට්ටේ යුගය, සීතාවක යුගය වැනි විවිධ යුගවලදී එම ප්‍රදේශවල පැවැති රාජධානි ආශ්‍රයෙහි ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර තිබිණ. අවසාන වශයෙන් තැන්පත් කරන්නේ මහනුවර දළදා මාලිගාවේ ය. දළදා මාලිගාවට දන්ත ධාතූන් වහන්සේ වැඩම කිරීමට ප්‍රථම එය දෙල්ගමුව විහාරයේ ඇඹරුම්ගලක් තුළ අවුරුදු 43ක් සඟවා තබන ලදී. ඒ සුද්දන්ගෙන් දන්ත ධාතුව බේරා ගැනීම පිණිසය. විමලධර්මසූරිය රජතුමා මහනුවර රජ බවට පත්වූ පසු ඇල්ලේපොළ මංගල තෙරුන් වහන්සේ ඇතුළු බුද්ධ ශ්‍රාවකයන් පිරිසක් විසින් දන්ත ධාතුන් වහන්සේ අස්ගිරි විහාරයට වැඩම කර එහි තිබෙන ගෙඩිගේ විහාරයේ තැන්පත් කරන ලදී. ශ්‍රී දන්ත ධාතුව දළදා මාළිගය වෙත ගෙනවුත් තැන්පත් කරන්නේ ඉන් පසුවය. විමලධර්මසූරිය රජතුමා දන්ත ධාතුව තැන්පත් කිරීම සඳහා රන් කැබලි විසිපන්දහසක් ද, විවිධ මැණික් ගල් ද යොදා කරඬුවක් නිර්මාණය කරන ලදී. ලංකාවේ රජ බවට පත් වන සෑම කෙනකු විසින්ම දන්ත ධාතුන් වහන්සේ ආරක්‍ෂා කළ යුතු බවට ඇති පිළිගැනීම නිසා විමලධර්මසූරිය රජතුමා දිවි හිමියෙන් එම දන්ත ධාතුන් වහන්සේ ආරක්‍ෂා කළේය. යටත් විජිත යුගයේදී සැබෑ දන්ත ධාතුන් වහන්සේ ආක්‍රමණිකයන්ගෙන් බේරා ගැනීම සඳහා ඇත් දත්වලින් තනන ලද අනුකෘති කිහිපයක් ද කරන ලදී. ඇතැම් ආක්‍රමණිකයන් එම අනුකෘති පැහැරගෙන පිටරටවලට පවා ගෙන ගිය බව දැනගන්නට තිබේ. මේ උපක්‍රමික ක්‍රියාව හේතුවෙන් සැබෑ දළදා වහන්සේ කිසි කලෙකත් ආක්‍රමණිකයන්ගේ පවිටු අත්වලට හසුවුණේ නැත.

ශ්‍රී ලංකාව යනු, බහුතරය බොදුනුවන් වූ ජනතාවක් වෙසෙන රටකි. බුද්ධාගම පැමිණීමට පෙර ශ්‍රී ලංකාව යනු, විවිධ ගස්ගල් ඇදහූ ගෝත්‍රිකයන්ගෙන් ද ඉන්දියාවෙන් පැමිණි ශිව ආගමිකයන්ගෙන් ද පිරුණු රටකි. ඒ අතර බෞද්ධයන් ස්වල්ප දෙනකු ද මේ රටේ විසූ නමුදු එම ප්‍රමාණය සුළුතර වූ බැවින් බුදු දහමට හිස එසවීමට අවස්ථාවක් ලැබුණේ නැත. එහෙත් ධර්මාශෝක රජතුමාගේ පුත්‍රයා මෙන්ම බෞද්ධාගමික නියෝජිතයා වූ මිහිඳු හාමුදුරුවන් වහන්සේ තවත් බෞද්ධ දූත කණ්ඩායමක් සමග මෙහි වැඩමකර දේවානම්පියතිස්ස රජතුමා බෞද්ධයකු බවට පත් කිරීමෙන් පසු ලංකාව පොහොය සඳෙන් ඒකාලෝක විය. මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කරන විටත් දේවානම්පියතිස්ස රජතුමා ශිව දෙවියන් ඇදහූ නරපතියෙකි. ඔහු මුව දඩයමෙහි යන්නේ පස් පව් හෝ දස සිල් ගැන නොදත් හෙයිනි. බොදුනුවකු වී පන්සිල් සමාදන් වීමෙන් පසු දේවානම්පියතිස්ස රජතුමා ප්‍රාණඝාත අකුසලයෙන් වැළැකී නියම ධාර්මික පාලකයෙක් බවට පත්විය. අප දන්නා පරිදි ලෝකයේ තිබෙන එකම සහ හොඳම ආධ්‍යාත්මික විමුක්ති මාර්ගය බුදුදහම වෙයි. එම බුදුදහම නියෝජනය කරන ජීවමාන සහ ආධ්‍යාත්මික මුදුන්මල්කඩ වන්නේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේය. 18 අවුරුද්දකට පසු දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමෙන් මේ රටේ පාලකයන් විශාල ආධ්‍යාත්මික සිසිලසක් පතුරවාහරින බව පෙනේ. ඒ සියලු දෙනාටම පින්.


advertistmentadvertistment