ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සලයේ (International Military Sports Council – CISM) 80 වැනි මහ සභා රැස්වීම හා සම්මේලනය ඊයේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ග්‍රෑන්ඩ් මෙයිට්ලන්ඩ් හෝටල් පරිශ්‍රයේදී නිල වශයෙන් ආරම්භ විය. මේ සඳහා ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු සහභාගි වූහ. මෙහිදී 2024 හා 2025 වසරවල ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ නියෝජනය කරමින් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ හා ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සලයේ සභාපති කර්නල් නිල්ටන් ගෝමස්, රොලිම් ෆීලො මහතාගේ පිළිගැනීමේ කථාවලින් අනතුරුව නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩගේ විසින් සමාරම්භක දේශනය පවත්වා සමුළුව ආරම්භ කළ අතර මෙවර එහි සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවීම සුවිශේෂිත වූ කරුණක් වූ අතර, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට පසු ලෝකයේ දෙවැනියට විශාලතම ක්‍රීඩා කවුන්සලය මෙය විම විශේෂත්වයකි. මෙවර ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සලයේ 80 වැනි මහ සභා රැස්වීම හා සම්මේලනය සඳහා මහද්වීප 04ක් නියෝජනය කරමින් සාමාජික රටවල් 80කින් 300කට ආසන්න විදේශ නියෝජිතයන් පිරිසක් සහභාගි වූහ.
මෙම මහ සභා රැස්වීමේ හා සම්මේලනයේ කටයුතු මැයි මස 18 වන දින සිට 24 වන දින දක්වා කොළඹ ප්‍රදේශය කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වෙන අතර ඒ සියලු කටයුතු ආරක්ෂක සේවා මණ්ඩලයේ සම්බන්ධිකරණය යටතේ ත්‍රිවිධ හමුදාවන් මගින් සිදුකරනු ලබයි.
1948 පෙබරවාරි මස 18 වැනි දින බෙල්ජියම්, ඩෙන්මාර්කය, ප්‍රංශය, ලක්ෂම්බර්ග් සහ නෙදර්ලන්තය යන රටවල් පහේ එකමුතුවෙන් ආරම්භ කරන ලද ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සලය (CISM) ආරම්භ කරන ලද අතර, ලොව වටා ඇති රටවල්හි හමුදාවන් අතර “ක්‍රීඩාව තුළින් මිත්‍රත්වය” ඇති කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වේ. මෙම සමුළුවේ සාමාජිකත්වය ශ්‍රී ලංකාව 1974 වර්ෂයේදි ලබාගත් අතර මේ වනවිට මහද්වීප 4ක රටවල් 141ක් සාමාජිකත්වය ලබාගෙන ඇති අතර, අප රටේ ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සලයේ නිල නිත්‍ය නියෝජිත ලෙස කටයුතු කරන්නේ ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයයි.
අප රටේ ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලය ත්‍රිවිධ හමුදාව තුළ ක්‍රීඩාව දිරිමත් කිරීම හා ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් 2012 ජනවාරි මස 18 වැනි දින ව්‍යවස්ථාපිත කර ඇති අතර මෙම කවුන්සලයේ සභාපති ධුරය හා ලේකම් ධුරය පිළිවෙළින් ත්‍රිවිධ හමුදාපතිවරුන් හා ත්‍රිවිධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් අතර වසර දෙකකට වරක් හුවමාරු වන අතර 2024/2025 වසර සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එම වගකීම ශ්‍රී ලංකා යුද හමුදාව වෙත භාරදෙන ලදී.
මෙම ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සලයේ මහ සභා රැස්වීම සාමාජික රටවල නියෝජිතයන්ගෙන් සමන්විතව සිදුකරනු ලබන අතර එහිදී කවුන්සලයේ ඉහළම තීරණ ගැනීම, ප්‍රතිපත්ති, නායකත්වය හා අනාගත සිදුවීම් පිළිබඳ සාකච්ඡා කිරීම, අධ්‍යක්ෂක මණ්ඩලය තෝරා පත්කර ගැනීම, ක්‍රීඩා තරගාවලි සංවිධානය හා වාර්ෂික අයවැය සම්මත කිරීම යනාදී කරනු මූලික කරගනිමින් පවත්වනු ලබයි. මෙවර 80 වන ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සලයේ මහ සභා රැස්වීමේ සත්කාරක රට වන ශ්‍රී ලංකාව විධිමත්ව හා ක්‍රමවත්ව එය පැවැත්වීමට ත්‍රිවිධ හමුදාවන් නියේජනය කරමින් දේශීය සංවිධායක කමිටුවක් ද පත්කොට ඇත.
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සලයෙහි මහ සභා රැස්වීම පැවැත්වීමේ වැදගත්කම ලෙස ගෝලීය වශයෙන් හමුදා ක්‍රීඩාවල අනාගතය තීරණය කිරීම සහ හැඩගැන්වීම සිදුකිරීම, ක්‍රීඩා තුළින් ජාත්‍යන්තර සහයෝගීතාව සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය ප්‍රවර්ධනය කිරීම හා සංස්කෘතික හුවමාරුව සඳහා අවස්ථා නිර්මාණය කරන අතර මිත්‍රත්වය වර්ධනය කිරීම වැනි කාරණා හැඳින්විය හැකිය. එම කවුන්සලයෙහි ප්‍රධාන කාර්යයන් ලෙස ලෝක ආරක්ෂක හමුදා ක්‍රීඩා කවුන්සලයේ නායකයන් (සභාපති හා අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්) තේරා පත්කර ගැනීම, සංවිධානය සඳහා ප්‍රතිපත්ති සහ උපාය මාර්ග අනුමත කිරීම, ලෝක හමුදා ක්‍රීඩා තරගාවලිය වැනි ප්‍රධාන සිදුවීම් තීරණය කිරීම, වාර්ෂික අයවැය සහ මූලික කටයුතු අනුමත කිරීම විශේෂයෙන් සඳහන් කළ හැක.
ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත