Clean Sri Lanka සහ පුරාවිද්‍යාව

548

රටක ස්වකීය අනන්‍යතාවය පිළිබිඹු කරන ප්‍රධානතම සාධකයක් ලෙස එරට ජාතික උරුමය හැඳින්විය හැකිය. මෙම උරුමයන් නිසි ලෙස හඳුනා ගැනීමට මෙන්ම එය දැනුමක් බවට පත් කරමින් පොදු මහජනතාව වෙත ගෙන යන විෂයයක් ලෙස පුරාවිද්‍යාව සිදු කරනුයේ විශිෂ්ට සේවාවකි.

Clean Sri Lanka සහ පුරාවිද්‍යාව

උරුමයන් සඳහා ආර්ථිකමය වටිනාකමක් ලබා දෙමින් විනාශයට ලක්කිරීම දීර්ඝ කාලයක පටන් සිදුවෙමින් පවතී. පොදු ව්‍යවහරයේදී “නිධන් වස්තු හෑරීම” ලෙසින් සමාජගත වී ඇති මෙය ජාතික ගැටලුවක් දක්වාම පැමිණ තිබේ. බලයට පත් නව රජය විසින් හඳුන්වා දෙමින් යන “Clean Sri Lanka” ව්‍යාපෘතිය හා එහි අරමුණු විමසා බැලීමේදී පිරිසිදු පරිසරයක් මෙන්ම සදාචාරාත්මක මූලධර්මයන් වැඩිදියුණු කිරීම පිළිබඳව ද අවධානය යොමු කර ඇත. එය ප්‍රශස්ථ මෙන්ම කාලෝචිත අදහසකි. පුරාවිද්‍යාත්මක උරුමයන් නිධන් වස්තු ලෙස හුවා දක්වමින් සිදු කරන මෙම විනාශයන් අවම කිරීමට නම් රටේ ඒ සඳහා වන නීතිය පමණක් නොව සදාචාරාත්මක සමාජ පරිසරයක් ගොඩනැඟීම ද අත්‍යවශ්‍ය වේ. ජාතික උරුමයන් හුදෙක් “නිධන් වස්තු” ලෙස සලකා මෙසේ විනාශ කිරීමට හේතුවන කරුණු මොනවාද යන්න පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය මංගල කටුගම්පොළ මහතා සමග සිදුකළ සංවාදයකි.

නිධානයක් යනු කුමක්ද ?

සමාජයේ කලින් කලට විවිධ මුහුණුවරින් සාකච්ඡාවට ලක්වන ජනප්‍රිය මාතෘකාවක් ලෙස “නිධන් හෑරීම” හඳුන්වා දෙන්න පුළුවන්. නිධන් යන්නෙහි අරුත නම් තැන්පත් කළ වස්තුව නැතහොත් භූගත වූ වස්තුව ලෙස අර්ථකථනය කළ හැකියි. සාමාන්‍ය ව්‍යවහාරයේදී මූල්‍යමය හෝ එවැනි වටිනාකමක් සහිත දෙයක් තැන්පත් කර හෝ සඟවා තබා තිබෙන ස්ථානයක් ලෙස මෙය හුවා දක්වනවා.

“නිධන්” යන්න සෘජුවම පුරාවිද්‍යාව හා ඉතිහාසය යන විෂයයන් සමග බද්ධව පවතින්නක් බැවින් පුරාවිද්‍යාත්මකව “නිධන්” යන්න හඳුන්වන්නේ කෙසේද?

පුරාවිද්‍යා විෂය පථය තුළ නිධන් යනුවෙන් හැඳින්වෙන දෙයක් නැහැ. පුරාවිද්‍යාවේදී අපට හමුවන්නේ පුරාවස්තූන්. එනම් අතීත මානව ක්‍රියාකාරීත්වය මත ගොඩනැඟුණු දැනට ශේෂ වශයෙන් හඳුනාගත හැකි මානව මැදිහත්වීමකින් නිර්මාණය කරන ලද අවශේෂයන් පුරාවස්තු ලෙස හඳුන්වනවා. එසේත් නැත්නම් අතීත මානවයාගේ හැසිරීම් රටා සහ සංස්කෘතික වෙනස්වීම් ද්‍රව්‍යාත්මක අවශේෂ ඔස්සේ විග්‍රහ කිරීම අධ්‍යයනය කිරීම පුරාවිද්‍යාවේ දී සිදු කරනවා. මෙහිදී ද්‍රව්‍යාත්මක අවශේෂ වශයෙන් අවධානය යොමු කරන්නේ අතීතයෙන් ඉතිරිව පවතින අතීත මානව අවශේෂයන් වෙතයි.

මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබා දෙන “නිධන් හෑරීම” වැරදි යෙදුමක් බව පළමුව තේරුම්ගත යුතුයි. මෙවැනි යෙදුමකින් ජනතාව කුතුහලයට ලක් කරමින් අනිසි වටිනාකමක් මෙයට ලබා දෙනවා. ඒ නිසා “නිධන් හෑරීම” විස්තර කිරීමේදී “අනවසර කැණීම්” යනුවෙන් යෙදීම වඩාත් උචිතයි.

අපේ රටේ සංස්කෘතික ඉතිහාසය දීර්ඝ කාලයකට අයත් වෙනවා. ඒ අතරින් ලිඛිත ඉතිහාසය ගත්තොත් වසර 2500 කට එහා යන ඉතිහාසයක් තිබෙනවා. බොහෝ විට අඛණ්ඩ රාජාවලියකින් යුක්තව පැවත ඇති ඉතිහාසය දෙස විමසිලිමත්ව බැලීමේදී රාජ්‍යත්වයත් බෞද්ධාගමත් අතර පැවතී ඇත්තේ ඉතා සමීප සම්බන්ධතාවයක්. මේ නිසාම ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළ බෞද්ධාගම සෘජු බලපෑමක් ඇතිකොට තිබෙනවා. මේ නිසාම ආඪ්‍යමත් සමාජ ජීවිතයක් වෙනුවට බොහෝවිට පැවත ඇත්තේ ඉතා සරල අල්පේච්ඡ ජීවන රටාවක්. මේ බව ඓතිහාසිකව මෙන්ම පුරාවිද්‍යාත්මකවද තහවුරු කරගෙන තිබෙනවා. උදාහරණයක් විදිහට අපගේ ඓතිහාසික වාස්තු විද්‍යාව, කලාව ආදිය නිරූපිත පුරාවිද්‍යාත්මක අවශේෂ දෙස අවධානය යොමු කිරීමේදී මේ බව පැහැදිලිවම හඳුනාගන්න පුළුවන්.

ඒ වගේම ඓතිහාසික යුගය පුරාවටම ආදී සමාජය විසින් ඉදිකරන ලද විවිධ නිර්මාණ ශ්‍රී ලංකාව පුරාම විහිදී තිබෙනවා. මේවා මතුපිට ශේෂ වශයෙන් දැකිය හැකි වගේම, පොළොව අභ්‍යන්තරයේ වැළලී තිබෙනවා. පුරාවිද්‍යාත්මක වශයෙන් ගවේෂණ මෙන්ම කැණීම් මගින් මතු කරගත් මෙම අවශේෂ දෙස විමසිලිමත්ව බැලීමේදී “සතර මහා නිධාන” වැන්නක් එසේත් නැත්නම් මූල්‍යමය වශයෙන් අති විශාල වටිනාකමකින් යුක්ත දේවල් හමුවන්නේ නෑ. මෙම අවශේෂයන්වල ඇත්තේ මිල කළ නොහැකි කෞතුක වටිනාකමක් පමණයි. ඒ වගේම මෙම දීර්ඝ ඉතිහාසය පුරාවට විවිධ සතුරු ආක්‍රමණ පැවතී ඇති බව ඓතිහාසිකව තහවුරු වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අතීත ශ්‍රී විභූතිය කියාපාන බොහෝ දේ විනාශ වී ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටු වූ දිනය ලෙස 1890 ජූලි මස 07 වන දිනය සලකනවා. එනම් වසර 130කට එහා යන අතීතයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු වෙනවා. මේ කාලය පුරාවට රටේ සෑම ප්‍රදේශයකම සිදුකරන ලද පර්යේෂණ කැණීම් දෙස අවධානය යොමු කළහොත් මෙවැනි මහාර්ඝ වස්තු තිබෙනවා නම් පළමුව මේවා හමුවන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටයි. රටේ ඇති අනෙකුත් රාජ්‍ය දෙපාර්තමේන්තු දෙස බැලීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යනු ආර්ථික වශයෙන් හෝ වෙනත් සම්පත් අතින් දුප්පත් ආයතනයක්. මෙවැනි නිධානයන් හමුවී ඇත්නම් මෙම දෙපාර්තමේන්තුවට එසේ වීමට කිසිදු හේතුවක් නෑ.

නිධන් වස්තු සමග කියැවෙන නිධන් වදුලු යනු මොනවාද?

17 ත් වන සියවස සහ 18 වන සියවස අග භාගයේදී පමණ නිධන් වදුල් යනුවෙන් වූ සංකල්පයක් එසේත් නැත්නම් සාහිත්‍යාංගයක් මෙයට මුල්වී තිබෙනවා. ඒ කෙතරම් සමාජගත වීද යත් වර්තමානයේ පවා නිධන් වදුල් ඔස්සේ මහා අනර්ඝ වස්තූන් සොයා යනවා. මේ හුදෙක්ම මිථ්‍යාවක් පමණයි. නිධන් වදුල ප්‍රධාන වශයෙන් කොටස් පහක් ඔස්සේ විස්තර කරන්න පුළුවන්. එනම් බෙහෙත් වදුල හෙවත් ඖෂධ වදුල, වැව් වදුල, ධාතු වදුල, චෛත්‍ය වදුල සහ නිධන් වදුල එම කොටස් පහයි. මෙහි ධාතු වදුල, චෛත්‍ය වදුල සහ නිධන් වදුල යන කොටස් තුන පොළොවේ තැන්පත් කර ඇති වස්තූන් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා. පසුකාලීනව “නිධන්” යනුවෙන් මහානර්ඝ සම්පත් සහිත දෙයක් සමාජගත වන්නට එය හේතූ වූවා විය හැකිය.

“නිධන්” එසේත් නැත්නම් අනවසර කැණීම් සිදු කරන්නේ ඇයි ?

මෙය හුදෙකලා සිදුවීමක් නෙවෙයි. මේ වටා සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලනික තත්ත්වයන් බැඳී පවතිනවා. ඇත්තෙන්ම රටක් විදියට අපි සෑම අංශයකින්ම වගේ දුප්පත්. තුත්තිරි ගහෙත් එල්ලෙන්න හදන සමාජයක් අද තිබෙන්නේ. මෙය හුදෙක් ආර්ථික දරිද්‍රතාවය පමණක් නෙවෙයි. ආකල්පමය වශයෙන්, සමාජ, සංස්කෘතික හා දේශපාලන වශයෙන්ද අපි දුප්පත්. අපි හැමෝම යම් යම් ප්‍රමාණයන්ගෙන් අපේක්ෂා භංගත්වයට පත්වෙලා සිටිනවා. සමාජයේ සෑම ස්ථරයකම මෙය දැකගන්න පුළුවන්. කලින් කලට රටේ ජනතාව රැවටීමට ලක්වෙනවා වගේම රැවටීමට ලක් කරනවා. විශේෂයෙන්ම දේශපාලනිකව රැවටීමට ලක්වෙනවා. මේ නිසාම කලකිරීමෙන්, අපේක්ෂා භංගත්වයෙන් ලෝකය දෙස බැලීමට පෙළඹී තිබෙනවා. ඒ වගේම මුදල් සෑම දෙයකම තීරකයා බවට පත්වෙලා. රටක් ලෙසට සාක්ෂරතාවෙන් ඉහළ අගයක් ගත්තද මුදල් ප්‍රමුඛත්වයෙහිලා මිථ්‍යාවන් පසුපස හඹා යන මිනිසුන් පිරි සමාජයක් බවට පත්වෙලා. ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට පිළියමක් ලෙස මෙම නිධන් ගොඩගත යුතු බවත් සමාජගත වී තිබීම සහ දියුණු වීමට ඇති එකම මග පුරාණ නිධාන ගොඩනැඟීම යැයි සිතන සමාජයක් තිබීම නිසා නිධන් හෑරීම එසේත් නැත්නම් අනවසර කැණීම් බහුලව සිදු කරනවා.

“නිධන් හෑරීම” ආශ්‍රිත සිදුවීම් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාකරණ හා ලබාදෙන ප්‍රචාරයන් සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද ?

මෑතකදී මධ්‍යම අධිවේගී මාර්ගයේ වේයන්ගොඩ පිවිසුමේ වඳුරඹ ප්‍රදේශයේ නිධානයක් ගොඩගැනීමට යෑම බොහෝ කතාබහට ලක්වූ සිදුවීමක්. මේ සිද්ධියත් සමග රටේ මාධ්‍ය හැසිරීම කුමනාකාරයට වූයේද යන්න විමසා බැලීම ඉතා වටිනවා. ඒ වගේම සාමාන්‍ය රටේ ජනතාව අතර තිබුණේ කුමනාකාරයේ අදහසක්ද යන්න විමසීම ඉතා කාලෝචිත වෙනවා. බොහෝ කතාබහ අතරේ ඉතා සුවිශේෂී අදහස් කිහිපයක් සමාජගත වුණා. එනම් රජය මැදිහත්ව නිධන් හෑරීමට රටේ නීතියෙන්ම අවසර දීමක් සම්බන්ධයෙන් වගේම, ඉන් පසුව රටේ පවතින ආර්ථික කඩාවැටීමට පිළියමක් ලෙස මෙම නිධන් ගොඩගත යුතු බවත් සමාජ ගත වුණා. ආකල්පමය වශයෙන් අපි කුමන තැනකද ඉන්නේ යන්නට මේ කදිම නිදර්ශනයක්. කිසිදු මහන්සියකින් තොරව ධනය රැස් කිරීමට පෙළඹීම, රටක් ලෙසට දියුණු වීමට ඇති එකම මග පුරාණ නිධාන

ගොඩගැනීම යැයි සිතන, ඒ වෙනුවෙන් මිත්‍යා මත සමාජගත කරන පිරිසක් අප අතර සිටීම කෙතරම් ඛේදජනක තත්ත්වයක්ද?

ඒ විතරක් නෙවෙයි පිරිහී ගිය, ඔද්දල්වුණු මේ සමාජය එතැනට පත් කරවීමට රටේ මාධ්‍යද වගකිය යුතුයි. මිත්‍යාව සමාජගත කිරීම වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යයන්ද අප අතර සිටිනවා. ජනප්‍රියත්වය (rating s) වැඩිකර ගනිමින් මුදල් ඉපැයීම සඳහාම මේ පිරිස පෙනී සිටිනවා. ඕනෑම දෙයක් කිසිදු විමසීමකින්, අධ්‍යයනයකින් තොරව සමාජගත කරනවා. එවැනි දේවල් ජනප්‍රිය කරවීම සඳහා ඉතා සංවිධානාත්මකව සමාජ මාධ්‍ය මාෆියාවක්ද අප අතර ක්‍රියාත්මක වෙනවා. නමුත් ඔවුන් සමාජයේ පෙරගමන්කරුවන් වශයෙන් පෙනී සිටිනවා. සමාජ ප්‍රගමනය වෙනුවෙන් පෙර ගමන් යා යුතු ආගමික සංස්ථාව මොන තරම් පිරිහී ඇත්ද යන්න තේරුම් ගැනීම එතරම් අපහසු වන්නේ නැහැ. මේ නිසාම විෂම වූ මිත්‍යා මතධාරීන් ජනප්‍රිය වී ඇත. වර්තමානයේ මෙයට උදාහරණ රාශියක් ඉදිරිපත් කළ හැකියි. “Track එක පැන්නා ජේසු හම්බුණා” කියමින් අසරණ ජනතාව නොමග යවන්නේ මොවුන්. ඒ වාගේම සමහරුන් බුදු වී තිබෙනවා. ඒ වගේම මෑතක ජාතික පුවත්පතක තිබූ ප්‍රධාන සිරස්තලයක් මේ, “අවුරුදු 5000 කට වඩා පැරණි බුදු පිළිමයක්, රන් කරඬුවක් බොන්දුපිටියේ නිවසක”

කෙතරම් වැරදි දැනුමක් මාධ්‍ය මගින් සමාජගත කරනවා කියන්න මෙය කදිම උදාහරණයක්. මොකද අවුරුදු 5000 කට වඩා පැරණි බුදු පිළිමයක් ගැනයි කතා කරන්නේ. අපි දන්න පුරාවිද්‍යාව තුළ අවුරුදු 5000 කට එහා යන බුදු පිළිමයක් හමුවෙලා නෑ. මෙය කිසිදු ආකාරයක විශ්වසනීය පුවතක් නොවේ. එයට හේතුව පුරාවිද්‍යාඥයකු හෝ කලා ඉතිහාසඥයකු වැනි විශේෂඥවරයකු මෙම අවුරුදු 5000 ගණනය කිරීම සිදු කර නැහැ. මෙම පුවත ලියන පුද්ගලයා තමයි අනුමාන කරන්නේ මේ පිළිමය අවුරුදු 5000 ක් පැරණී කියලා. මේ නිසා සමාජගත වන්නේ සාවද්‍ය දැනුමක්. ඒ වගේම රන් පිළිමයක් බොන්දුපිටියේ නිවසක’ යනුවෙන් සඳහන් කර මෙවැනි දෑ සෙවීමට ජනතාව තුළ කුතුහලයක්, ආශාවක් ඇති කරනවා. වැරදි දෙයක් මේ සිරස් තලය මගින් සිදුව තිබෙනවා. ඒ වගේම රාවණා සම්බන්ධයෙන් තිබෙන මිත්‍යා මතයද පුරාවිද්‍යා වශයෙන් ගත්තාම තහවුරු නොකළ පුරානෝක්තියක්. රාවණා සම්බන්ධ මතය පුරාවිද්‍යාත්මක සත්‍යන් ලෙස පිළිගන්න බැහැ. මේවා කට වහරෙන් සමාජගත වෙමින් පැමිණෙන අදහස් පමණයි. තවත් පිරිසක් ඉදිරියේදී රාවණා නැවත අවදි කිරීමට උත්සහ දරනවා. පෞද්ගලිකව ඕනෑම කෙනකුට ඕනෑම මතයක් දැරීමට අයිතියක් ඇත. නමුත් එම පෞද්ගලික මතය සමාජගත කිරීමට උත්සහ කිරීම පිළිගන්න බැහැ. බුදුන් උපන්නේ ලංකාවේ බව පිරිසක් සංවිධානාත්මකව සමාජගත කරමින් තිබෙනවා. නමුත් බුදුන් උපන්නේ කොතනකද සොයනවාට වඩා බුදුන්ගේ ධර්මය සෙවීම තමයි වැදගත් වෙන්නේ.

මෙවැනි පිරිහුණු සමාජයකින් සමාජ ප්‍රගමනයක් බලාපොරොත්තු විය හැකිද? රටක ජීවනාලියවන් අනාගත පරම්පරාවන්ට මේ අය ගෙනයන දේ කුමකද? සෑමදාම අතීත ශ්‍රී විභූතිය පිළිබඳ පාරම්බාමින් ඒවා වෙනත් ජාතීන්ට පෙන්වා ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට උත්සහ කරනවා වගේම ඒවා අනාගත පරම්පරාවන් සඳහා ආරක්ෂා කර ගැනීමද අප සතු යුතුකමක්. එය හුදෙක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පමණක් කළ නොහැකියි. පුරාවිද්‍යාව, ඉතිහාසය විෂයක් ලෙසට හදාරා විශ්වවිද්‍යාල වලින් පිටවන උපාධිධාරීන් අවශෝෂණය කර ගැනීමට රාජ්‍ය යාන්ත්‍රණය සමත් වී තිබේද? යන ගැටලුව අප තුළ තිබෙනවා. යහපත් සමාජයක් ඇති කිරීමට නම් ආකල්ප වලින් පිරිසිදු රටක් පිළිබඳ සිතිය යුතුම වෙනවා. සදාචාරාත්මක පුරවැසියකු බිහි කිරීම සඳහා නිවස, පාසල, ආගමික ස්ථාන හා සමාජය ක්‍රියා කළ යුතුයි. සමාජයට දැනුමක් ලබාදීමේදී වුවද එය ශාස්ත්‍රාලයීය ප්‍රවේශයකින් සිදු කළ යුතු වෙනවා.

සමස්ත සමාජයම ආකල්පවලින් පිරිසිදු කළ යුතු වෙනවා. “Clean Sri Lanka” (පිරිසිදු ශ්‍රී ලංකාවක්) කියන තේමාව ඔස්සේ වැඩකටයුතු සිදු කරන්නේ නම් පිරිසිදු පරිසරයක් වගේම සදාචාර සම්පන්න පුරවැසියකු බිහි කිරීම පිළිබඳව ද වැඩි අවධානයක් ලබාදිය යුතුමයි. මේ නිසා ආකල්පමය වෙනසක් ඇති කිරීම, මාධ්‍ය සදාචාරයක් බිහිකිරීමත් සහ නිවැරදි දැනුමක් සමාජගත කිරීමට ආගමික සංස්ථා, ශාස්ත්‍රාල වැනි ආයතන ඉදිරිපත් වීමත් අවශ්‍යය වෙනවා.

සාකච්ඡා සටහන
රුවන් පුෂ්ප කුමාර
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය


advertistmentadvertistment