මුල් අදින්නට පොළොවක් සොයන වතුකරයෙන් පිටමංවූවෝ

81

අපේ ඉඩම්වලට බලපත්‍ර දෙන්නම් දෙන්නම් කියනවා. අපිට තියෙන්නේ බලන් ඉන්න. අපි වෙන මොනවා කරන්නද?

එක පාර අපිට යන්න කීවොත් අපි කොහෙටද යන්නේ?

මාතලෙන් මෙහෙට ආවේ නිදහසේ ජීවත්වෙන්න හිතාගෙන. ඒත් 1997 ඉඳලා වවුනියාවේ අනාථ කඳවුරුවල…

මිනිසුන්ට පමණක් නොව සතා සීපාවුන්ට පවා තමන්ගේම යැයි හැඟෙන භූමි වපසරියක් තිබේ.

ඔවුන්ගේ නිදහස ද සුරක්ෂිතභාවය ද ඇත්තේ එහිය. පරම්පරා ගණනාවක් තිස්සේ එබඳු සුරක්ෂිත බිම්කඩක් නොමැති මිනිස් ප්‍රජාවක් තුළ මුල් බැසගත් අනාරක්ෂිත මනෝභාවය කෙබඳු දැයි ඔබට සිතාගත හැකි ද?

“අපිට මැරෙන්න වෙන්නෙත් අනාථයෝ වගේ”

ඒ වචනවල ඇත්තේ ජීවිතයේ අනාරක්ෂිතබව හා අනාගතය පිළිබඳ ඇති අවිනිශ්චිතබවෙහි දුක්ඛ ස්වරයයි. පරම්පරා ගණනක්ම මේ පොළොවට අයිතියක් නොකියන මිනිසුන් අතර, ලංකාවේ ජීවත්වන ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනයා හෙවත් වතු ආශ්‍රිතව ජීවත් වන දෙමළ ජනයා ප්‍රමුඛ වේ. මීට වසර දෙසීයකට පෙර බලහත්කාරයෙන් ඔවුන්ගේ උපන්බිමෙන් උගුළුවාගෙන මෙහි රැගෙන ආ දවසේ සිට ඔවුන්ගේ ජීවිත එක තැන පල්වනු මිස ප්‍රගතියක් දැකිය නොහැක. එදා සිට ගෙවී ගිය හැම දිනයක්ම මේ මිනිසුන්ට තම ජීවිතය උහුලාගත නොහැකි බරක් වූවා මිස විඳිය හැකි ජීවිතයක් නොවිණි. සීතල කඳුකරයේදීත්, උණුසුම් උතුරුකරයේදීත් ඔවුනට ලැබුණේ දුෂ්කරබව හා දරා ගැනීමේ ශක්තිය උරගා බැලීමේ අඛණ්ඩ පරීක්ෂණයන්ට මුහුණ දීමට පමණි. ඉන් එහා ගිය යමක් ගැන තීරණය කරන්නට ඔවුන්ගේ දෛවයට අමතක වූවාක් මෙනි. ඒ අමතක වීම, මේ ජීවිතවලට සදාකාලික දුර්භික්ෂයක් උරුම කරදී ඇතුවාක් මෙනි. එසේ කියන්නට මේ තවත් එක ප්‍රබල සාක්ෂියකි.

වවුනියාවේ ඕමන්තෙයි ආසන්නයේ පිහිටි පුදියවේල සින්නකුලම් ගම්මානයේ වෙසෙන පවුල් දෙසිය හතළිහක පිරිසක් දශක හතරක් පුරා තම ජීවත්වීමේ අයිතිය උදෙසා බලා සිටිති. ලංකාවේ විවිධ ප්‍රදේශවල ජීවත් වූ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනයා, විවිධ කාලවකවානුවල ඇති වූ අනාරක්ෂිතවීම් හේතුවෙන් වවුනියාව, මුලතිවු ආදී ප්‍රදේශවලට පැමිණ පදිංචි වූ අතර පුදියවේල සින්නකුලම් ගම්මානයේ සිටින්නේද එම කුලකයට අයිති මිනිසුන්ගේ කොටසකි. ඛේදවාචකය නම් මේ සියලු දෙනාට මේ වන තුරුම තමන් ජීවත්වන භූමියට කිසිදු නීතිමය අයිතියක් නොමැති වීමය. දශක ගණනාවක් තිස්සේ ඔවුහු, ඒ සඳහා ඉල්ලීම් කරමින් බලා සිටිති.

● වතුකරයෙන් පිටමංවීම

පුදියවේල සින්නකුලම් ගම්මානයේ ජීවත් වන හැටහය හැවිරිදි රීටම්මා මේ දශක හතර පුරා තම ඉඩම් හිමිකම වෙනුවෙන් බලා හිඳින්නියකි. ඇය ඉපදී ඇත්තේ ගම්පොළ වටදෙනිය මාකුඹුර වත්තේය. ඇගේ පියා ගුරුවරයෙක් වීම හේතුවෙන් නිවසේ කිසිවෙකුත් වත්තේ කම්කරු රැකියාවට සම්බන්ධ නොවීම නිසාත් ඔවුන්ට ජීවත් වූ වත්තේ ලැයිම් නිවාසවලින් ඉවත් වන්නට වතු පාලකයන්ගෙන් නියෝග ලැබිණි. ඒ හේතුවෙන් 70 දශකයේදී ඔවුන් වවුනියාවට සේන්දු විය.

මගේ තාත්තගේ යාළුවෙක් අපිව මෙහෙට ගෙන්න ගත්තා. ඒ සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව කාලේ. ඒ කාලේ කච්චේරියෙන් කට වචනෙන් කිව්වා මේ ඉඩම්වල පදිංචි වෙන්න කියලා. එදා ඉඳල අපි මෙහෙ ඉඩම් සුද්ද කරගෙන වවාගෙන කාලා ජීවත් වුණා. එදා මම මෙහෙට එද්දී අවුරුදු එකොළහක පුංචි කෙල්ලෙක්. දැන් මම දරුවන්ගේත් දරුවෝ ඉන්න ආච්චි කෙනෙක්. ඒත් අපිට අපි ඉන්න ඉඩම්වල අයිතියක් නෑ. ඒත් අපි මග බලනවා මේ ඉඩම්වලට බලපත්‍රයක් දෙයි කියල. එක පාර අපිට යන්න කීවොත් අපි කොහෙටද යන්නේ? හැමදාම කච්චේරියෙන් කියන්නේ ඉක්මනට අපිට බලපත්‍රයක් හදල දෙනවා කියලයි. තව කොච්චරකල් බලාගෙන ඉන්නද?

මේ ගම්මානය පුරා ඉන්නේ රීටම්මා මෙන්ම තම ඉඩමේ අයිතිය හිමි වනතුරු දෑස් දල්වා බලා සිටින මිනිසුන්ය. මැරෙන්නට පෙර මේ පොළොවේ තමන්ට පිළිගැනීමක් ලැබුණ වග දකින්නට බලා ඉන්නා මිනිස්සුය.

● පය ගැසූ බිමෙන් – අවතැන් කඳවුරට

මුල් අදින්නට පොළොවක් සොයන වතුකරයෙන් පිටමංවූවෝ

පනස්හත් හැවිරිදි ඒ. සෙල්වරත්නම් 1982 වසරේ සිට පුදියවේල සින්නකුලම් ගමේ ජීවත් වන්නෙකි. මාතලේ සිට වවුනියාවට පැමිණ පදිංචි වූ ඔහුගේ කතාවද බොහෝ දුක්ඛිතය.

මාතලෙන් මෙහෙට ආවේ නිදහසේ ජීවත්වෙන්න හිතාගෙන. ඒත් 1997 ඉඳලා වවුනියාවේ අනාථ කඳවුරුවල ජීවත් වෙන්න සිද්ධ වුණා. ඊට පස්සේ අපි ආයේ අපේ ඉඩම්වලට ආවා. හුඟක් දුක් වින්දා අපි. තාමත් අපි අනාථයෝ වගේ තමයි. අපිට අපි ඉන්න ඉඩමකවත් අයිතියක් නෑ. අපිට හදිසියකට දේපළ පෙන්වල බැංකුවකින් ණයක්වත් ගන්න බෑ. අපිට මාතලේදීත් ඉඩම් තිබුණෙ නෑ. දැනුත් ඉන්න ඉඩම්වලට අයිතියක් නෑ. දැන් අපි ගිහින් කච්චේරියෙන් ඇහුවම කියනවා මේ ඉඩම් මීට කලින් වෙන අයට දීපු ඉඩම් කියලා. ඒත් අපි අවුරුදු හතළිහක්ම මේ ඉඩම්වල හිටියේ. දරුවෙකුට දෑවැද්ද විදියට ඉඩමෙන් ටිකක් දුන්නත්, දෙන්න වෙන්නේ කට වචනෙට. අපිට කොහෙවත් නෑ ජීවත්වෙන්න තැනක්.

ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ මේ මිනිසුන්ගේ මුතුන්මිත්තෝ වතුකරයේ ලයින් කාමරවල ගුලි ගැසී දුක්විඳ මෙලොවින් සමුගත්හ. ඔවුන් තේ ගස් පාමුල හෙළුෑ ලේ කඳුළු වෙනුවෙන් උපහාරයක් නොවීය. ජාති, කුල මල හේතුවෙන් විඳි පීඩාවන් ඉවසමින් දරමින් ඉපල් වූ ජීවිත උදෙසා සාධාරණයක් නොමැති බිමක අදටත් ඔවුන් විඳින්නේ දුකම පමණි.

● මහලු නොවන බලාපොරොත්තු

සවුරිමුත්තු අරිප්පුද මේරි වයස අවුරුදු අසූවක කාන්තාවකි. ඇය 1972 දී කළුතර මවුන්ට්හිල් රබර් වත්තේ සිට පුදියවේල සින්නකුලම් ගම්මානයට පැමිණ ඇත්තේ තම දරුවන් පස්දෙනකුද සමගිනි. ඒ ප්‍රචණ්ඩක්‍රියා දියත් වූ සමයකදීය.

අපි මෙහෙ රටකජු, කවුපි, උඳු වැව්වා. මට එළුවෝ 91ක්, හරක් 25ක් හිටියා. ඒත් යුද්දේ නිසා අපිට ඔක්කොම දාල යන්න වුණා. අපි මඩු පල්ලියේ අනාථ කඳවුරේ හිටියේ. මඩු පල්ලියට ගහන වෙලාවෙත් අපි ඒ කඳවුරුවල හිටියේ. ඒ හැමදේම ඉවරවෙලා එද්දී ගෙවල් නෑ. යාන්තන් ආයේ ගෙයක් හදාගත්ත. ඒත් අපි ඉන්න ඉඩම් අපිට කිසිම අයිතියක් නෑ. මම බලන් ඉන්නවා මගේ දරුවන්ටවත් මේ ඉඩම්වල අයිතියක් ලැබේවි කියල. කොයි වෙලාවේ හරි අපි එළවලා වෙන කවුරුහරි මේ ඉඩම් පවරාගනී කියල බයක් තියනවා.

59 හැවිරිදි සිමියොන් මාගරට් ද කුඩා අවධියේදී කළුතර සිට මෙහි පැමිණ ඇත.

“ කවදාවත් අපිට කියල ඉඩමක් තිබිල නෑ. අපේ සීයලා ආච්චිලත් අනුන්ගේ ඉඩම්වල ජීවත්වෙලා මැරිලා ගියා. අපිත් මෙච්චරකල් මෙහෙ ඉඳලත් අපිටත් මැරෙන්න වෙන්නේ අනාථයෝ වගේ.”

2004 වසරේදී මාතලේ සිට මේ ගමට පැමිණ පදිංචි වූ වෙල්ලසාමි රාජේන්ද්‍රන් ගොවිතැනින් ජීවත් වන්නෙකි.

“අපේ ඉඩම්වලට බලපත්‍ර දෙන්නම් දෙන්නම් කියනවා. අපිට තියෙන්නේ බලන් ඉන්න. අපි වෙන මොනවා කරන්නද”?

පුදියවේල සින්නකුලම් හි ඉඩම් අයිතිය ලබාදීම සම්බන්ධව වවුනියා ප්‍රාදේශීය ලේකම්වරයා වන නාගලිංගම් කමලදාසන් මහතාගෙන් විමසුවෙමු.

● ඉඩම් අයිතිය ගැන විමර්ශනයක්

“පුදියවේල සින්නකුලම් ගම්මානයේ ජීවත් වෙන්නේ 70-80 දශකවල ඇති වූ ගැටුම්කාරී අවස්ථාවලදී උඩරට ඇතුළු ප්‍රදේශවල ඉඳල උතුරට ඇවිත් පදිංචි වුණු මිනිස්සු. මේ පිරිස් පදිංචි බොහෝ ඉඩම් මීට අවුරුදු ගණනකට පෙර මධ්‍යම පාන්තිකයන්ට ලබාදීපු ඉඩම්. මේ ඉඩම්වල එම පැරණි අයිතිකරුවන් බොහොමයක් යුද්ධය හේතුවෙන් රටින් පිටවෙලා ගියපු අය. මේ ඉඩම්වල නූතන පදිංචි පිරිස් සඳහා ඉඩම්වල නීතිමය අයිතීන් ලබාදෙන්න කටයුතු කරන කොට එම ඉඩම්වල පැරණි අයිතිකරුවන් ඉදිරිපත්වීම් හා විරුද්ධත්වය ප්‍රකාශ කිරීම් නිසා මේ අයිතීන් පැවරීම නතර වුණා.

මේ ඉඩම් සම්බන්ධව ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා චක්‍රලේඛයක් ඉදිරිපත් කරලා තියනවා, යුද්ධය නිසා අනාථ වෙලා ගියපු මිනිස්සුන්ගේ ඉඩම් වෙන කාටවත් පවරන්න බෑ කියල. ඒ නිසා මේ ඉඩම්වල නීතිමය අයිතිය පැවරීම කල්ගියා. ඒත් 2020 අවුරුද්දේ චක්‍රලේඛයක් ආවා මේ ඉඩම්වල පරණ අයිතිකාරයා නැතිනම් ඒ පිළිබඳ සොයා බලා තහවුරු කරගෙන එම ඉඩම් දැන් පදිංචිවෙලා ඉන්න අයට පවරන්න කියලා. ඉතින් මේ වෙනකොට අපි ඉඩම් සම්බන්ධව හා එහි පැරණි අයිතිකරුවන් පිළිබඳ සොයා බැලීම සඳහා ඉඩම් නිලධාරීන් යොමුකරලා තියනවා. දැනට මේ පැරණි අයිතිකරුවන්ගේ නම් විතරයි අපි සතුව තියෙන්නේ. ඔවුන්ගේ තොරතුරු සොයා බැලීම සිදුකරමින් පවතිනවා. පැරණි අයිතිකරුවන් ගැන සොයා නොබලා ඉඩම් පැවරීම තුළින් නීතිමය ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. මේ නිසා මේ ඉඩම්වල පැරණි අයිතිකරුවන් හා වර්තමාන පදිංචිකරුවන් යන දෙපිරිසටම අසාධාරණයක් නොවන විදියට කටයුතු කරලා ඉඩම්වල නීතිමය අයිතිය ලබාදෙන්න කටයුතු කරනවා.

මේ සියලු සොයා බැලීම් හැකි ඉක්මනින් සිදුවන්නේ නම් එය පුදියවේල සින්නකුලම් ගම්මානයට හා මේ ගැටලුවට මුහුණ දුන් අනෙකුත් ගම්වල වැසියන්ටද ඉමහත් සැනසීමක් අත්වනු ඇත. මේ ඉඩම් අයිතීන් ලැබීමේ ගැටලුව විසඳුන ද අපට අමතක එක කාරණයක් සිහි තබා ගත යුතුය. ඒ උතුරේ දකුණේ නොව කොහේ සිටියද ඔවුන්ද හුස්ම ගන්නා මිනිසුන් බවය. ඉන්දියානු ද්‍රවිඩ හෝ වතු දෙමළ මුද්‍රාව යටතේ රට පුරා තැනින් තැන විසිරුණු ඔවුන්ගේ ජීවිත අඳුරේ තවමත් ළතැවෙන වගත් ඔවුන්ට ආලෝකය උදා කිරීමේ සියලු මංමාවත් පෑදීම, ඔවුන් වෙනුවෙන් හඬ නැගීම මනුෂ්‍යත්වයේ වගකීමක් බවත් අමතක නොකළ යුත්තකි.

සඳරැසී සුදුසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment