බදු අංකය ගන්නේ මෙහෙමයි

305

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු අංකයක් (TIN) ලබාගැනීම මාර්ගගතව (ඔන්ලයින්) මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් ද සිදු කළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ www.ird.gov.lk යන වෙබ් අඩවියට පිවිස ඒ සඳහා අවශය මාර්ගෝපදේශ (පියවරයන්) අනුගමනය කිරීමෙන් ඒ සඳහා වන අයැදුම්පත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හැකි වේ. එම ඉල්ලීම සමාලෝචනය කිරීමෙන් පසුව බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) සඳහන් සහතිකයක් සහ එක්වරක් පමණක් භාවිතා කළ හැකි මුරපදයක් (PIN) අදාළ පුද්ගලයා විසින් ලබාදී ඇති ඊමේල් ලිපිනයට ලැබෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත පැමිණ බදු අංකය ලබා ගැනීමේදී ඒ සඳහා වන ලියාපදිංචි අයැදුම්පතක් සම්පූර්ණ කර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ 2 වන මහලේ ප්‍රාථමික ලියාපදිංචි අංශයට හෝ යම් අයකුට ආසන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඕනෑම ප්‍රාදේශීය හෝ නගර කාර්යාලයකට ඉදිරිපත් කළ හැකි වේ.

මෙම බදු අංකය ලබාගැනීමේ අයැදුම්පත ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බාගත කර (ඩවුන්ලෝඩ් කර) පිටපතක් මුද්‍රණය කරගත හැකි වේ. ඒ නිසා එම අයැදුම්පත ලබා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යෑමට අවශ්‍ය නොවන අතර එය දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් මාර්ගගතව ලබාගත හැකි වේ.

මාර්ගගතව එනම් ඊ සේවාව හරහා බදු අංකය ලබාගැනීම සඳහා ලියාපදිංචි වීමේදී ජාතික හැඳුනුම්පතෙහි දෙපැත්තම ස්කෑන් කර එහි පීඩිඑෆ් පිටපතක් උඩුගත (අප්ලෝඩ්) කළ යුතු අතර ජාතික හැඳුනුම්පතේ ඇති ලිපිනයෙහි සහ දැනට පදිංචි ලිපිනයෙහි වෙනසක් ඇත්නම් එය සනාථ කිරීම සඳහා පිළිගත හැකි ලේඛනයක පිටපතක් ද උඩුගත (අප්ලෝඩ්) කිරීමට කටයුතු කළ යුතු බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියයි. 2024 ජනවාරි 01 දින සිට සෑම වයස අවුරුදු 18 ට වැඩි අයකු විසින්ම බදු අංකයක් ලබාගැනීම රජය මගින් අනිවාර්ය කර ඇත. මේ අංකය ගත් පමණින් කෙනෙක් බදු ගෙවීමට බැඳීමක් ඇති නොවන අතර ඒ සඳහා බැඳීමක් ඇති වන්නේ වාර්ෂිකව රු. ලක්ෂ 12 ට වඩා වැඩි ආදායමක් උපයන්නේ නම් පමණක් වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment