ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය, තිර රචනය සහ කැමරාකරණයෙන් නිර්මාණය වූ නෙළුම් කුළුණ චිත්‍රපටයට අද සිට රටපුරා සිනමාහල්වල තිරගත කිරීම ඇරඹේ. ඉලංගෝ රාම්ගේ ප්‍රථම දිගු චිත්‍රපටය වන කුළුණ 2023 වසරේ තලින් බ්ලැක් නයිට්ස් චිත්‍රපට උළෙලේ ජූරියේ විශේෂ සම්මානයක් දිනාගෙන ඇත.
ඉලංගෝ මෙම චිත්‍රපටය දමිළ භාෂාවෙන් ‘පෙරුසු’ සහ තෙලිඟු භාෂාවෙන් ‘පෙධා’ ලෙස නැවත නිර්මාණය කර ඇති අතර ජාත්‍යන්තරයේදී නැවත නිර්මාණය කරන ලද ප්‍රථම ශ්‍රී ලාංකීය චිත්‍රපටය බවට පත්වීම ද විශේෂත්වයකි. මේ වන විට ඉන්දියාවේ, ස්පාඤ්ඤයේ, ඉතාලියේ සහ ඇමරිකාවේ නැවත නිර්මාණය සඳහා ද මෙය තහවුරු වී ඇත. නෙළුම් කුළුණ චිත්‍රපටය හිරණ්‍යා පෙරේරාගේ නිෂ්පාදනයක් වන අතර මේ සඳහා කෞෂල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, තුසිත ලක්නාත්, චමිලා පීරිස්, චාන්දනී සෙනෙවිරත්න, දිල්හානි ඒකනායක, කෝරලගේ සමන්, සුලෝචනා වීරසිංහ, මධුර ප්‍රභාෂ්වර, රංජිත් පනාගොඩ ඇතුළු නළු නිළියන් රැසක් මේ සඳහා රංගනයෙන් දායක වී ඇත.
ඉලංගෝ රූපවාහිනී වෙළෙඳ දැන්වීම් අධ්‍යක්ෂවරයකු ලෙස වසර 15 ක අත්දැකීම් ඇත්තෙකි. ඔහු ආසියානු චිත්‍රපට ඇකඩමිය දකුණු කොරියාව, බර්ලිනාලේ, ටැලන්ට්ස්, රොටර්ඩෑම් ලැබ්, පොදියෝ සුද් සහ රොක්පෝර්ඩ් අමෙරිකාවේ රොක්පෝර්ඩ් විශ්වවිද්‍යාලයෙන් සිනමාව පිළිබඳ හදාරා ඇත. එමෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී ලංකා රූපවාහිනී පුහුණු ආයතනයේ සිනමා විෂය පිළිබඳ ආචාර්යවරයකු වශයෙන්ද කටයුතු කර ඇත. තවද කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල, ඇජන්ඩා 14 කෙටි චිත්‍රපට උළෙල තරගවල විනිශ්චයකාර මණ්ඩල සාමාජිකයකු ලෙසද කටයුතු කර තිබේ. සිංහල සිනමාව වෙනස්ම මගකට හරවන ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය කරන ලද නෙළුම් කුළුණ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයක් ද පසුගියදා පැවැත්විණි. එහිදී අප ඇසූ ප්‍රශ්නවලට මෙලෙස අදහස් දැක්වූහ.
“මට ඕනෑවෙලා තිබුණා වෙනස්ම මාතෘකාවක චිත්‍රපටයක් නිර්මාණය කරන්න. ලංකාවේ ගොඩක් වෙලාවට නිර්මාණය කරන්න බලන්නේ සම්භාව්‍ය චිත්‍රපට වගේම වාණිජ චිත්‍රපට. සරල තේමාවක් අරගෙන මැද මාවතක චිත්‍රපටයක් හදන්නයි මට ඕනෑවුණේ.
නෙළුම් කුළුණ සිනමාවට නගන්න හේතුවුණේ කුමක්ද?
මේක මම ගොඩක් කාලේ ඉඳන් ලියපු තිර රචනයක්. හැබැයි මුලදී මම ලිව්වේ වෙන එකක්. ඒ නිසා මට මේක නැවත හදන්න කාලයක් ඕනෑවුණා. මට ඕනෑවුණෙත් සරල ඩාර්ක් කොමඩි සිනමාපටයක් කරන්නයි. ඒ අදහසින් තමයි මම මේ සිනමාපටය කරන්න පටන් ගත්තේ.
ලංකාවේ ගොඩක් චිත්‍රපට නිර්මාණය වෙන්නේ වෙනත් රටක පිටපතක් ලෙසටයි. එහෙම නැතිනම් කොපියක් විදිහටයි. ඒ නිසා මට ඕනෑවෙලා තිබ්බේ මිනිස්සුන්ට සරල කතාවකින් චිත්‍රපටයක් හදන්නයි. එහෙම හිතලා තමයි මළගෙදරක් ආශ්‍රිතව මේ සිනමාපටය නිර්මාණය කළේ. ඒ ආකාරයට සරල කතා තේමාවක් හරහා අපේ ප්‍රේක්ෂකයන් අතර හොඳ සිනමාපටයක් ගෙනියන්න ඕනෑ කියන සිතුවිල්ලෙන් තමයි මේක හැදුවේ.
මෙහි නළු නිළිවරණය ගැන කතා කළොත්?
මේ චිත්‍රපටයට දායක වුණු නළු නිළියන් අත්දැකීම් අතින් ගොඩක් පරිණත නළු නිළියන්. කෞෂල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, තුසිත ලක්නාත්, රංජිත් පනාගොඩ, චමිලා පීරිස්, චාන්දනි සෙනෙවිරත්න, දිල්හානි ඒකනායක, ආලෝකා ගයාත්‍රී, සුලෝචනා වීරසිංහ, කෝරලගේ සමන්, මධුර ප්‍රභාෂ්වර, රාජා ගනේෂන්, සරත් මොරොන්තුඩුව, සංජීව උපේන්ද්‍ර සහ අසේල ද සිල්වා මේ සඳහා රංගනයෙන් දායක වෙනවා. ඔවුන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේම ආදන් සිවනන්තර් සංස්කරණයෙන්ද, නිරෝෂන් එදිරිමාන්න සහ ප්‍රසන්න නිරෝෂන් සහාය අධ්‍යක්ෂණයෙන්ද, මංජුල පෙරේරා නිෂ්පාදන කළමනාකරණයෙන්ද, අජන්ත අලහකෝන් නිෂ්පාදන සැලසුම්කරණයෙන්ද, රජිත දිකිහින්න වේෂ නිරූපණයෙන්ද රංගන සිංහාරගේ සංගීතයෙන්ද දිනිදු ජාගොඩ වර්ණ සංයෝජනයෙන්ද මට දායකත්වය ලබාදුන්නා.
මෙහි පිටපත ලිව්වේ ඔබ ඉහතින් සඳහන් කළ නළු නිළියන් ඔළුවේ තියාගෙනමද?
නැහැ නැහැ. එහෙම නැහැ. මම මුලින්ම පිටපත ලියලා ඉවරවෙලා තමයි පසුව නළු නිළියන් තෝරාගත්තේ.
මේ නිර්මාණය මිනිස්සු මොන විදිහට භාරගනීවි ද කියන චතිකය ඔබේ සිතට ආවේ නැතිද?
ප්‍රේක්ෂකාගාරය මම ගොඩක් විශ්වාස කරනවා. ඔවුන්ට ඕනෑ වෙනස් තේමාවන් යටතේ සිදුකෙරෙන නිර්මාණ. මට හිතෙන්නේ මිනිස්සු මේකට ගොඩක් කැමැතිවෙයි කියලා. මේක හරියට ලස්සන මලයාලම් සිනමාපටයක් වගෙයි. මේක හොඳ චිත්‍රපටයක්. මේක බලන්න ඕනෑ, මේ වගේ චිත්‍රපට තමයි අපිට ඕනෑ කියන අදහසින් මිනිස්සු මේක නරඹන්න ඒවි. අනෙක් කාරණාව මේක ඉතා සරල චිත්‍රපටයක්. කිසිම අපහසුවක් නැතිව ලස්සනට බලන් ඉන්න පුළුවන්. ඒ නිසා ප්‍රේක්ෂක ආකර්ෂණය ලැබේවි කියලා මම විශ්වාස කරනවා.
පසුගිය දවස්වල මේ චිත්‍රපටය ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්වුණා නේද?
නෙළුම් කුළුණ ගොඩක් සම්මාන උළෙල නියෝජනය කරලා තියෙනවා. 2023 වසරේ තලින් බ්ලැක් නයිට්ස් ජාත්‍යන්තර සිනමා උළෙලේ ජූරියේ විශේෂ සම්මානය හිමිවුණා. මේක LAP අනුමත ඒ ශ්‍රේණියේ උළෙලක්. අපේ ලංකාවේ සිනමාවට ගොඩක් හොඳ අවස්ථාවක්.
දිනේෂ් විතාන