උත්තර නැති නිසා ශ්‍රී ලංකාව වසර දෙකකින් ජිනීවා ගිහින් නෑ – කිරිඇල්ල කියයි

54

ශ්‍රී ලංකාව දැනට වසර දෙකක පටන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සමුළුව සඳහා රජයේ නියෝජිතයන් සහභාගී කරවීම නවත්වා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී 22දා පැවසීය.

එම මානව හිමිකම් සමුළුවේදී අසනු ලබන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දිය නොහැකි නිසා රජය මෙලෙස නියෝජිතයන් නොයවන බව ද ඒ වෙනුවට සූම් තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් එම රැස්වීම් සඳහා පෙනී සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

එම සැසිවාරය සඳහා අවසන් වතාවට සහභාගී වී ඇත්තේ වත්මන් අධිකරණ ඇමැති ප්‍රමුඛ නියෝජිත පිරිසක් බවත් එහිදී ශ්‍රී ලංකාවට මානව හිමිකම් කඩ කිරීමේ චෝදනාවලට අමතරව ආර්ථික අපරාධ පිළිබඳ චෝදනා ද එල්ල වූ බවත් ඔහු කීය.

එම චෝදනාවලට ශ්‍රී ලංකා නියෝජිතයන් උත්තර දිය නොහැකිව ගොළු වූ බැවින් ඉන් පසුව මෙරටින් නියෝජිත පිරිසක් එහි නොගිය බව ද සඳහන් කළ කිරිඇල්ල මහතා මේ වන විට ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය අත්හැර ඇතැයි ද මෙරටට දැන් ජාත්‍යන්තර සම්බන්ධතා නැතැයි ද චෝදනා කළේය.

එක්සත් ජාතීන්ගේ සහයෝගය නොමැතිව ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයෙන් ණය සහන ඉල්ලන නමුත් එම ඉල්ලීම් පලක් නොවන බව ද ඒ මහතා කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment