හොඳම වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන උළෙලේ දී රාජ්‍ය ආයතන 12 කට රන් සම්මාන

165

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) සහ රාජ්‍ය අංශයේ කීර්තිමත් සමූහයක් වන ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය (APFASL) එක්ව සංවිධානය කෙරුණු 2022 වසරට අදාළ ‘හොඳම වාර්ෂික වාර්තා හා ගිණුම් සම්මාන උළෙලේ’ දී රාජ්‍ය අංශයේ ආයතන 12ක උසස් තත්ත්වයේ මූල්‍ය වාර්තාකරණය අගයමින් රන් සම්මාන පිරිනැමිණි.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු මෙම සම්මාන ප්‍රදානෝත්සවයට රාජ්‍ය භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූ අතර එහිදී විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන, ව්‍යවස්ථාපිත

මණ්ඩල, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා, නගර සභා, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා යන රාජ්‍ය ආයතන නියෝජනය කරමින් ප්‍රධාන ජයග්‍රාහකයෝ 12 දෙනකු සම්මාන ලැබූහ.

මෙවර සම්මාන උළෙලේ දී රන් සම්මාන දිනූ ජයග්‍රාහකයින් වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පොල් පර්යේෂණ මණ්ඩලය, සේවක භාර අරමුදල, මහා මාර්ග අමාත්‍යාංශය, ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (උතුරු පළාත), සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය (උතුරු පළාත), දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය, බළන්ගොඩ නගර සභාව, රත්නපුර මහ නගර සභාව සහ දිඹුලාගල ප්‍රාදේශීය සභාවයි.

මෙවර ‘හොඳම වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන’ උළෙලේ දී රිදී සම්මාන ලාභීන් වූයේ යාපනය විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ජාතික විද්‍යා පදනම, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය, ගොඩනැඟිලි දෙපාර්තමේන්තුව, මුදල් සැලසුම් හා පළාත් පාලන අමාත්‍යාංශය (උතුරු පළාත) උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය, කොලොන්නාව නගර සභාව, කළුතර නගර සභාව, අනුරාධපුර මහ නගර සභාව, නොච්චියාගම ප්‍රාදේශීය සභාව සහ රාජාංගණය ප්‍රාදේශීය සභාව යන ආයතනයි.

මෙවර ලෝකඩ සම්මාන දිනූ ජයග්‍රාහකයින් වූයේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය, සබරගමුව විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ජල සම්පාදන අමාත්‍යාංශය, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව, ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව (උතුරු පළාත), උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය, වත්තල මාබෝල මහ නගර සභාව, කඩුවෙල මහ නගර සභාව, දෙහිඕවිට ප්‍රාදේශීය සභාව සහ වෙන්ගලචේඩ්ඩිකුලම් ප්‍රාදේශීය සභාව යන ආයතනයි. මෙම උළෙලේ ප්‍රධාන දෙසුම මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවත්වනු ලැබීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment