මේ වන විට බැංකුවල පොලී අනුපාත සැලකිය යුතු ලෙස අඩු වී ඇති නිසා බැංකුවල මුදල් තැන්පත් කරන පිරිස් අසීරුවට පත්ව ඇත. ඒ නිසා ඔවුන්ට වැඩි පොලී ප්‍රතිලාභයක් ලැබෙන ස්ථාන ගැන උනන්දුවක් තිබෙන අතර මේ ගැන වගා ආයෝජන සමාගම් ඇතුළු නොයෙකුත් ආයෝජන යෝජනා ක්‍රම හඳුන්වා දී ඇති පිරිස්වල ද අවධානය යොමුව ඇති බව පෙනේ. මේ නිසා මේ අඩු පොලී වාතාවරණය ප්‍රයෝජනයට ගනිමින් මේ අය සමාජ මාධ්‍ය හරහා මේ දිනවල මහජනයාගේ මුදල් ආකර්ෂණය කර ගැනීම සඳහා විශාල ප්‍රවර්ධනයක් සිදු කරමින් තිබේ. මේ ප්‍රවර්ධනයන් සිදු කිරීමේ දී ඇතැම් ආයතන මහ බැංකුවේ නම විකුණමින් මහජනයා මුලා කර මහජනයාගේ මුදල් නොයෙකුත් ආයෝජන සඳහා ආකර්ෂණය කර ගැනීමේ නොයෙකුත් උත්සාහයන් සමාජ මාධ්‍ය හරහා සිදුවෙමින් තිබෙන බව පෙනේ. ඇතැම් අය ඒ සඳහා මහ බැංකුවේ නිල ලාංඡනය පවා භාවිත කරන බවට වාර්තා වී ඇති අතර ඇතැම් ආයතන මේ සඳහා මහ බැංකුවේ නාමය භාවිතා කරයි. එහෙත් මහ බැංකුවෙන් දැනගන්නට ඇති පරිදි මේවාට ශ්‍රී ලංකා මහ බැංකුවේ කිසිම සම්බන්ධයක් නැත.

මේවා 'ආයෝජන' ද මුදල් තැන්පතු ද?

මෙසේ මහ බැංකුවේ නාමය භාවිත කරමින් එක්තරා වගාවකට ආයෝජන වශයෙන් මුදල් ගැනීමට කටයුතු කරන ආයතනයක පණිවිඩයක් පසුගියදා මේ ලියුම්කරුට මුහුණු පොතේ මැසෙන්ජර් හරහා එක්තරා කාන්තාවකගේ නමින් පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුමක් මගින් ලැබුණි. ඇය මගේ ෆේස්බුක් මිතුරු ලැයිස්තුවේ නොසිටි අතර ඇය එම පණිවිඩය එවා තිබුණේම එක්තරා සමාගමක වගා ආයෝජන ගැන හඳුන්වා දීමටය. යම් සමාගමක නමක් සඳහන් කරමින් වැනිලා ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් දෙකක් ඔවුන් හඳුන්වා දෙන බව එම පණිවිඩයේ සඳහන් කර තිබුණි. “රජයේ ලියාපදිංචි වැවිලි සමාගමක් වන මෙම ආයතනය සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් ඔඩිට් වෙන නිසා ඔබ ආයෝජනය කරන සෑම රුපියලකටම අපි වගකියනවා” යනුවෙන් ද මේ ලියුම්කරුට එවා තිබුණු එම මැසෙන්ජර් පණිවිඩයේ සඳහන්ව තිබිණි. මෙය දුටු වහාම මෙය සාවද්‍ය කරුණක් බව තේරුම් ගිය බැවින් මේ සමාගම මහ බැංකුවෙන් ඔඩිට් වෙනවා ද කියා මා ප්‍රශ්නයක් ඇසූ අතර එයට ඇය මෙසේ පිළිතුරක් ලබා දී තිබුණි.

“ඔව් ඔඩිට් වෙනවා. රෙජිස්ටර් වෙන්නේ නෑ. හැබැයි ඔඩිට් වෙනවා”

එහෙත් ඇත්ත කතාව නම් මේ වැවිලි සමාගම්, සමාගම් පනත යටතේ සමාගමක් වශයෙන් ලියාපදිංචි කර තිබුණත් ඒවා මහ බැංකුවේ ලියාපදිංචි ආයතන නොවන බවයි. ඒවා ගැන මහ බැංකුවේ නියාමනයක් නැත. එසේම එම ආයතන මහ බැංකුවෙන් විගණනය කරන බව ද අසත්‍ය ප්‍රචාරණයකි. මේ නිසා ඔබටත් මෙවැනි පණිවිඩ ෆේස්බුක් එකේ නොදන්නා අයගෙන් ඉන්බොක්ස් මගින් ලැබීමට ඉඩ තිබේ. එසේම එවැනි කිසිම වැවිලි ආයෝජන සමාගමක් මහ බැංකුව විසින් විගණනය කරන්නේ ද නැති නිසා ඔබ එවැනි ආයතනයක මුදල් ආයෝජනය කර අපේක්ෂිත ප්‍රතිලාභ නොලැබුණහොත් හෝ යම් වංචාවකට හසු වුවහොත් ඒ ගැන මහ බැංකුවේ වගකීමක් නොමැති බව ද වටහා ගත යුතුය.

එසේම ඔවුන් ලාභ පෙන්විය යුතු බවත් අවශ්‍ය නම් වාර්තා සියල්ල හෙඩ් ඔෆිස් එකෙන් ගත හැකි බවටත් එම තැනැත්තිය පිළිතුරු වශයෙන් වැඩිදුරටත් මේ ලියුම්කරුට දැනුම් දී තිබිණි. එහෙත් මහ බැංකුව විසින් එම සමාගම ඔඩිට් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමේ දී ඇය වහාම මුලින් මට එවූ පණිවිඩය මකා දමා මාගේ මැසෙන්ජර් ගිණුම බ්ලොක් කර ඉවත්ව ගිය බව දැකගත හැකි විය. ඒ නිසා ඔවුන් මහ බැංකුව විසින් තම සමාගම විගණනය කරන බවට මහ බැංකුවේ නම සඳහන් කරන්නේ දැන දැනම මහජනයා මුලා කර එම වගා ආයෝජන ව්‍යාපෘති සඳහා මහජන මුදල් ආකර්ෂණය කර ගැනීමට බව පැහැදිලිය. ඒ නිසා මේ ගැන අවධානයෙන් සිටින ලෙස තම මුදල් තැන්පත් කර ඉහළ ප්‍රතිලාභයක් ලබා ගැනීමේ අවශ්‍යතාව ඇති අයට සිහිපත් කළ යුතුය. ඇතැම් විට ඔවුන් යම් වගාවක මුදල් ආයෝජනය කරන බව සඳහන් කර ‘තැන්පතු’ යන වචනය සඳහන් නොකර කරන්නේ ද අනවසර තැන්පත් ගැනීමක් විය හැකිය. මේ අනවසර තැන්පතු ගැනීම ගැන නම් මහ බැංකුවට මුදල් ව්‍යාපාර පනත යටතේ පරීක්ෂණ කළ හැකිය.

අපට මේ ව්‍යාජයන් ගැන අවබෝධයක් තිබුණත් සමාජ මාධ්‍ය හරහා මේ බොරු පවසමින් මහ බැංකුවේ නම පවා සඳහන් කරමින් මේ ගැන අවබෝධයක් නොමැති සාමාන්‍ය ජනයා මුලා කරමින් ඔවුන්ගේ මුදල් මේ කියන වගා ආයෝජන සඳහා ආකර්ෂණය කර ගැනීමට මේ දිනවල විශාල සමාජ මාධ්‍ය ප්‍රවර්ධනයන් සිදුවෙමින් තිබේ. ඔබත් මෙය නිරීක්ෂණය කර තිබෙනවා විය හැකිය. ඇතැම් වගා ආයෝජන ආයතන විසින් පවසන්නේ ඔවුන් සියයට 54 ක් වැනි ඉතා ඉහළ වාර්ෂික ප්‍රතිලාභයක් ලබාදෙන බවයි. මේ බව සහ මේ සමාජ මාධ්‍ය ප්‍රවර්ධනයන් ගැන මහ බැංකුව ද මේ වන විට නිරීක්ෂණය කර ඇතැයි අපි සිතමු. මේ ආයතන මහ බැංකුවේ ලියාපදිංචි ආයතන නොවුණත් ඔවුන් මේ ප්‍රවර්ධනයන් කරන්නේ දැනට තිබෙන අඩු පොලී වාතාවරණය හමුවේ මහජනයා සතු මුදල් ඔවුන්ගේ වගා ආයෝජන ව්‍යාපෘති වෙත ආකර්ෂණය ගැනීමටය. ඒ නිසා මේවායින් මහජනයා මුලා වී ඔවුන් දුක් මහන්සියෙන් උපයාගත් මුදල්වලට හානියක් වෙනවා නම් ඒ ගැන මහ බැංකුවේ අවධානය යොමු කිරීමත් ඒ ගැන මහජනයා දැනුම්වත් කිරීමත් වැදගත් ය. මේ දැනුම්වත් කිරීම සඳහා මහ බැංකුව විටින් විට පුවත්පත් දැන්වීම් මගින් මෙන්ම මහ බැංකුවේ යූටියුබ් නාලිකාව සහ ෆේස් බුක් පිටුව හරහා ද යම් යම් දැනුම්වත් කිරීම් සිදුකරනු අප දැක ඇත. එය අගය කළ යුතුය. මේ අනුව මහ බැංකුවේ සහකාර අධිපති සිරිකුමාර කුඩාගම මහතා අදහස් දක්වන “තැන්පතු ද වංචා ද?” මැයෙන් වූ වීඩියෝවක් ද මහ බැංකුවේ යූටියුබ් නාලිකාව සහ ෆේස් බුක් පිටුවට එක්කර තිබේ. මේ ගැන කරුණු දැන ගැනීමට අවශ්‍ය අයට මේවා පරිශීලනය කර නිවැරදි දැනුම ලබාගෙන තම ආයෝජන හෝ මුදල් තැන්පතු කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය හැකිය.

මේ දිනවල සමාජ මාධ්‍ය මගින් මේ කියන නොයෙකුත් වගා ආයෝජන ගැන ඇතැම් විට සාවද්‍ය තොරතුරු පවා සඳහන් කරමින් සහ මහ බැංකුවේ නම ද සඳහන් කරමින් සිදුකරන පුළුල් ප්‍රවර්ධනයන් ගැන අවධානය යොමු කරන්නේ නැද්දැයි මේ ලියුම්කරු විසින් මහ බැංකුවේ පසුගිය මාර්තු 26 වැනිදා පැවැති මාධ්‍ය හමුවේ දී විමසා සිටින ලදි. ඒ ගැන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අදහස් දක්වා වැඩිදුර නීතිමය තත්ත්වය පැහැදිලි කිරීමට මහ බැංකුවේ සහකාර අධිපති සිරිකුමාර කුඩාගම මහතාට ආරාධනය කරන ලදි. ඒ අනුව සිරිකුමාර මහතා විසින් මේ ගැන අදාළ නීතිමය තත්ත්වය පැහැදිලි කරදෙන ලද අතර එම ප්‍රශ්නය සහ පිළිතුර ද වීඩියෝවක් වශයෙන් මහ බැංකුව විසින් යූටියුබ් නාලිකාව වෙත යොමු කර ඇත. එය ද මේ ගැන සත්‍ය තත්ත්වය දැන ගැනීමට ඔබට පරිශීලනය කළ හැකිය.

මේවා 'ආයෝජන' ද මුදල් තැන්පතු ද?

මේ වගා ආයෝජන ගැන සඳහන් කර එක්තරා සමාගමක් විසින් එම සමාගම මහ බැංකුව විසින් විගණනය කරන ලද බවට කළ ව්‍යාජ සඳහන ගැන මේ ලියුම්කරු විසින් මහ බැංකුවට දැනුම් දීමට ද කටයුතු කරන ලදි. එයට පිළිතුරු වශයෙන් මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අධ්‍යක්ෂවරියගෙන් මේ ලියුම්කරුට විද්‍යුත් ලිපියක් ලැබුණු අතර එහි ඇය සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම සමාගම විගණනය කරන බවට එම සමාගම මගින් දක්වා ඇති සාවද්‍ය තොරතුර සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා ඇති බවයි. තවද, ඉහත ආයතනය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 2 වන වගන්තියේ විධිවිධාන උල්ලංඝනය කරමින් තැන්පතු භාරගන්නා හෝ මුදල් ව්‍යාපාර කරගෙන යන්නේ ද යන්න ගැන මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන අනුව විමර්ශනයක් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද මේ ලියුම්කරුට දන්වා තිබුණි. මේ ගැන මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අධ්‍යක්ෂවරියට මහජනයා වෙනුවෙන් අපගේ ස්තුතිය හිමි වේ. එසේම තවත් එක්තරා වගා ආයෝජන සමාගමක් තම ෆේස් බුක් ප්‍රචාරණයක දී ‘තැන්පතු’ යන වචනය ද සඳහන් කර තිබුණි. එම ප්‍රචාරක දැන්වීමේ ඔබේ තැන්පතුවට අසමසම ප්‍රතිලාභයක් යනුවෙන් සඳහන් කර එක්තරා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකුගේ ඡායාරූපයක් ද ප්‍රදර්ශනය කර තිබුණි. බැංකු පොලිය අඩුවෙන වෙලාවේ මේ ඉහළ ප්‍රතිලාභ තැන්පතු සඳහා ලැබෙන බවද සඳහන් කර තිබූ නිසා මේ ගැන ද මහ බැංකුවේ අවධානය යොමු විය යුතුව ඇත. වෙනත් වැවිලි සමාගම් ‘ආයෝජන’ යන වචනය භාවිත කළත් මේ වැවිලි සමාගම සෘජුවම තැන්පතු යන වචනය සඳහන් කරමින් ඔවුන්ගේ වගා ආයෝජන සඳහා මහජන මුදල් ආකර්ෂණය කර ගැනීමේ ප්‍රවර්ධන කටයුතු මෙසේ සිදුකර ඇත.

මේ ගැන මහ බැංකුව කියන්නේ කුමක් ද? අප දන්නා පරිදි මහජනයාගෙන් මුදල් තැන්පතු ගැනීම සඳහා මහ බැංකුවෙන් බලපත්‍රයක් ලබා නැති කිසිම ආයතනයකට මෙසේ ප්‍රසිද්ධියේ මහජන මුදල් තැන්පතු ලබාගත නොහැක. ඒ අනුව වැවිලි සමාගම්වලට මහජන මුදල් තැන්පත් භාර ගැනීමට නීතිමය බලයක් නැත. ඒ නිසා 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 2 වන වගන්තියේ විධිවිධාන උල්ලංඝනය කරමින් තැන්පතු භාරගන්නා හෝ මුදල් ව්‍යාපාර කරගෙන යන්නේ ද යන්න ගැන මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන අනුව මේ සමාගම ගැන ද මහ බැංකුවට විමර්ශනයක් සිදු කළ හැකිය. එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ මහ බැංකුව මේ ගැන ක්‍රියාත්මක වන විට බොහෝ දෙනෙක් මේවාට රැවටී සිටීමට ඉඩ තිබීමයි. පිරමිඩ ජාවාරම් සම්බන්ධයෙන් ද මෙය අපට දැකගත හැකි විය. එනම් මහ බැංකුව විසින් ලැබෙන මහජන පැමිණිලි මත විමර්ශන පවත්වා යම් ආයතනයක් පිරමිඩ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවට මහජනයා නිල වශයෙන් දැනුවත් කරන අවස්ථාව වන විට බොහෝ දෙනෙක් එම ආයතනයේ පිරමිඩ යෝජනා ක්‍රමයේ ගොදුරක් බවට පත්ව මුදල් අහිමි කරගෙන සිටීමයි. ඒ නිසා මේ වගා ආයෝජන ගැන ද මහජනයා දැනුවත් වීම වැදගත් බව අපගේ අදහසයි. ඒ මුදල් ගන්නේ තැන්පතු වශයෙන් නොව වගා ව්‍යාපෘතිවල ආයෝජන වශයෙන් නම් ඒ කිසිවක් නීති විරෝධී බවට අපට කිව නොහැකිය. එහෙත් ඔවුන් ප්‍රචාරණය කරන එම ඉහළ ප්‍රතිලාභ ඇත්ත වශයෙන්ම අදාළ ආයෝජන කාලය අවසානයේ ලැබෙන්නේ ද සහ වගා කළ එකම ඉඩමක් පෙන්වා බොහෝ පිරිස්වලින් මුදල් ලබා ගන්නේ ද යන්න ගැනත් ඔබගේ අවධානය යොමු කිරීම වැදගත් වනු ඇත.

මූල්‍ය සහ ආර්ථික කටයුතු වාර්තා කරන මාධ්‍යවේදියෙක් වශයෙන් අප මේ ගැන උනන්දු වන්නේ මහජනයා වෙනුවෙන් සහ මහ බැංකුවට සහයක් වශයෙනි. ඒ නිසා මාධ්‍යවේදියෙක් නොව මේ රටේ ඕනෑම පුරවැසියෙක් මහ බැංකුවට පැමිණ මේ ගැන පැමිණිල්ලක් කිරීමට අවශ්‍ය බව දැන් වූ විට ඒ ගැන නිසි සැලකිල්ලක් දැක්විය යුතු බව අපි මහ බැංකුවට සිහිපත් කරමු. එසේම සියල්ල සිදු වී මහජනයා අමාරුවේ වැටුණු පසු මේ ගැන මහජනයා දැනුවත් කිරීම ද එතරම් ඵලක් නැත. මහ බැංකු නිලධාරීන් අනිත් රාජ්‍ය නිලධාරීන්ට සාපේක්ෂව අධික වැටුප් ගන්නා බව අපි දනිමු. එහෙත් එම නිලධාරීන් මහජනයා වෙනුවෙන් තම රාජකාරී වගකීම් හරිහැටි ඉටු කරනවා ද යන්න ගැනත් සොයා බලන ලෙස මහ බැංකු අධිපතිවරයාට සිහිපත් කිරීමට අප කැමතිය.

මහජනයාට කිව යුතු වන්නේ ඔබගේ මුදල් ආයෝජන සඳහා ඉහළ ප්‍රතිලාභ ලබා දෙන බවට ආකර්ෂණීය ප්‍රචාරණයන් කළත් මේ ගැන කලබල නොවී සොයා බලා තම මුදල් ආරක්ෂිත තැනක ආයෝජනය කිරීමට වගබලා ගන්නා ලෙසයි.

යම් ආයතනයක් මහ බැංකුව විසින් විගණනය කරන බව කියා සිටියත් යම් දැන්වීමක මහ බැංකුවේ නිල ලාංඡනය තිබුණත් ඒ ගැන මහ බැංකුවේ කිසිම සම්බන්ධයක් නොතිබිය හැකිය. ඒ නිසා ඒ කියන තොරතුරු සත්‍ය ද කියා සොයා බලන්න. එසේම ඔබට අවශ්‍ය වන්නේ කිසියම් වගාවකට මුදල් ආයෝජනය කිරීමට ද එසේත් නැත්නම් කිසියම් පොලියක් ලබා ගැනීම සඳහා ඔබේ මුදල් තැන්පත් කිරීමට ද යන්න ඔබම විමසා බලන්න. මහජන මුදල් තැන්පත් භාර ගැනීමට නම් ඒ සඳහා නීත්‍යානුකූල බලයක් ඇති ආයතනයක් විය යුතු වේ. එම බලය සහිත ආයතන ලැයිස්තුව මහ බැංකුව විසින් වරින් වර ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කරනු ලබයි. එසේම මහ බැංකුවේ වෙබ් අඩවියට පිවිස එම ආයතන ලැයිස්තුව ඔබටම පරීක්ෂා කළ හැකිය. ඒ අනුව ඔබ මුදල් තැන්පත් කිරීමට අපේක්ෂා කරන ආයතනයට ඔබේ මුදල් තැන්පතු භාර ගැනීමට නීත්‍යානුකූල බලයක් තිබේ ද යන්න ඔබට දැනගත හැකිය. එසේම ඔබගේ සියලු මුදල් එකම තැනක ආයෝජනය කිරීම ද සුදුසු නොවේ.

හේතුව නම් එම ආයතනයට යම් ප්‍රශ්නයක් ඇති වුවහොත් ඔබ ආයෝජනය කරන සියලු මුදල් අවදානමට පත් විය හැකි වීමයි. ඒ නිසා එකම තැනක ඔබේ සියලු මුදල් දානවා වෙනුවට ආයෝජන කළඹක් පවත්වාගෙන යෑම (විවිධ ස්ථානවල ආයෝජන සිදු කිරීම) ද සුදුසු විය හැකිය. මේ නිසා ඔබ දුක් මහන්සියෙන් උපයන මුදල් යම් ආයතනයක ආයෝජනය කිරීමේ දී එම ආයතනය ගැන හොඳින් සොයාබලා අවශ්‍ය නම් මහ බැංකුවෙන් ද විමසා වඩාත් සැලකිලිමත්ව ඔබ විසින් තීරණයක් ගත යුතු බව අපි ඔබට සිහිපත් කරමු.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment