අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී සර්ව පාක්‍ෂික රජයක් ගොඩනගා අභියෝග ජය ගැනීමට පාර්ලිමේන්තුවට අවස්ථාව සලසන මෙන් ඉල්ලමින් හිටපු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබේ.
මේ මොහොතේ වහා සිදුකළ යුත්තේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වී ජාතික න්‍යායපත්‍රය පෙරදැරි කරගත් සර්ව පාක්‍ෂික නව ආණ්ඩුවක් ගොඩනගා මෙම අභියෝග එක්සත්ව ජය ගැනීම සඳහා පාර්ලිමේන්තුවට අවස්ථාව සලසා දීම බව අලහප්පෙරුම මහතා එම ලිපිය මගින් ජනාධිපතිවරයාට යෝජනා කර ඇත.
මෙම අර්බුදජනක අවස්ථාවේදී මහජනතාවත්, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ආකෘතියත් රැක ගනිමින් රටේ ආර්ථික හා දේශපාලන පදනම යළි පිහිටුවීම සඳහා ගත යුතු නිවැරදිම හා දූරදර්ශීම තීරණ ගැනීමට අප පසුබට නොවිය යුතුය යැයි ද ඒ මහතා ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ සඳහන්ව ඇත.
ඉතිහාසයේ වැඩිම තරුණ නියෝජනයක් සහිත අභියෝගයන් ලුහුබිඳිය හැකි කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම සඳහා ඔබතුමන් විසින් ගනු ලැබූ තීරණය පැසසිය යුතු නමුත් එය පමා වූ විසඳුම් ගොන්නට එකතු වී හමාර යැයි ද හිටපු ඇමැතිවරයා පවසා ඇත.