අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගෙන්වීමේදී මහ බැංකුවෙන් යළි කොන්දේසියක්

696

මෙරටට අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීමේදී වාණිජ බැංකු විසින් විවෘත කරන ණයවර ලිපි වෙනුවෙන් සියයට සියයක මුදල් තැන්පතුවක් තබාගත යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකුවලට වහාම ක්‍රියාත්මක වන පරිදි යළිත් ආන්තික තැන්පතු අවශ්‍යතාවක් නියම කර ඇත.

එච් එස් කේත (HScodes) 779 කට අදාළ ආනයනික භාණ්ඩ වෙනුවෙන් මෙම සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව පනවා තිබේ.

ඇතැම් අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ ආනයනයේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙත මේ දැනුම් දීම සිදු කර ඇත.

විදේශ විනිමය අනුපාතයේ ස්ථාවරත්වය සහ මෙරට බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය ද්‍රවශීලතාව පවත්වාගෙන යෑමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී බැංකුවලට මෙම නිර්දේශය ලබා දී ඇති අතර එම නිර්දේශය ප්‍රකාරව ණයවර ලිපි සඳහා තැන්පතු කළ යුතු මුදල් වෙනුවෙන් බැංකු විසින් ණය ආනයනකරුවන්ට ණය පහසුකම් ලබාදීමෙන් වැළකිය යුතු බවද දැනුම් දී තිබේ.

මේ අනුව නැවත දැනුම් දෙනතුරු අදාළ භාණ්ඩ වෙනුවෙන් ණය වර ලිපි විවෘත කිරීමේදී සියයට සියයක ආනතික මුදල් තැන්පතුවක් තබාගෙන ඒවා නිකුත් කළ යුතුවේ.

ගිය වසරේ (2021)දීද මහ බැංකුව විසින් අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ සඳහා මෙසේ සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් පවත්වා ගත යුතු බවට නියම කළ අතර එය පසුව 2021 ඔක්තෝබර් 01 දින සිට ඉවත් කරන ලදී.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 


advertistmentadvertistment