අධිකරණ ඇමැතිගේ ප්‍රකාශය විවේචනය කරමින් නිවේදනයක් නිකුත් කළ විනිසුරු දෙදෙනා වරප්‍රසාද කමිටුවට කැඳවන්න

348

පාර්ලිමේන්තුවේ විවාදයක් අතරතුර අධිකරණ ඇමැතිවරයා විසින් අධිකරණ පද්ධතිය විවේචනයට ලක්කරමින් සිදු කරන ලද ප්‍රකාශයක් පිළිබඳව කරුණු දක්වමින් පෙරේදා (24දා) ප්‍රකාශයක් නිකුත් කළ විනිසුරුවරුන් දෙදෙනා පාර්ලිමේන්තු ආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවා විමර්ශනයක් සිදුකොට සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (25දා) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කළේය.

2010 සැප්තැම්බර් 1 වැනිදා අධිකරණ සේවා කොමිෂන් සභාව නිකුත් කළ චක්‍රලේඛය මගින් දිසා විනිසුරුවරු හා මහෙස්ත්‍රාත්වරු ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීම් කළහොත් විනයානුකූල පියවර ගත හැකි බව සඳහන්ව ඇති බවද ඇමැතිවරයා තම ලිපියෙන් පෙන්වා දී තිබේ.

සමස්ත අධිකරණ පද්ධතියටම බලපෑම් වන පරිදි අධිකරණ ඇමැතිවරයා එම විවේචනයන් අසත්‍යයෙන් සත්‍ය වෙන් කර නොගෙන කරන ලද බවත් දේශපාලන වශයෙන් තමන්ගේ පැවැත්ම අභියෝගයට ලක් කර නඩුකරයන්වලදී අධිකරණයෙන් නීතියට අනුකූලව නිකුත් කළ තීන්දු හා නියෝගවලින් අතෘප්තියට පත්වීම මතම සැලසුම් සහගතව කරන ලද බවට හා තවත් දීර්ඝ ලෙස කරුණු දැක්වුවත් අධිකරණ සේවා සංගමය විසින් එම ප්‍රකාශය නිකුත් කර තිබිණි.

කෑගල්ල දිසා විනිසුරු හා එම සංගමයේ සභාපති රුවන් දිසානායක සහ මහලේකම් ගාල්ල මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ යන මහත්වරුන් එම ප්‍රකාශය ඇතුළත් නිවේදනයට අත්සන් තබා තිබිණි.

මේ අනුව ඊයේ කථානායකවරයාට ලිඛිතව දීර්ඝ ලිපියකින් කරුණු දක්වා ඇති අධිකරණ ඇමැතිවරයා එහි මෙසේද සඳහන් කර තිබේ.

අධිකරණ සේවා සංගමය නිකුත් කළ දීර්ඝ ලිපිය ද අප සංක්‍ෂිප්තව පළ කළ නිසා ඇමැතිවරයාගේ දීර්ඝ ලිපිය ද සංක්‍ෂිප්තව පළ කරන බව කරුණාවෙන් සලකන්න. එහි මෙසේද දැක්වේ.

මම අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අතර 2024 ජුනි මස 19 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් අධිකරණයන්ට අදාළව නඟන ලද ප්‍රශ්න කිහිපයක් අලළා පිළිතුරු දෙමින් පහත සඳහන් කරුණු පිළිබඳව තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළෙමි. මම සඳහන් කළ කරුණු කිහිපයක් මෙහි සඳහන් කරමි.

  1. ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා හැර අනෙකුත් විනිසුරුවරුන් සඳහා වන ඇබෑර්තුවක කිසිදු තනතුරක් පිරවීමෙන් ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා සහ කථානායකවරයාගේ සභාපතිත්වයෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සියලු සාමාජිකයන් වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර ඇති අතුරු නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කිරීම සම්බන්ධව වන 41 (අ) ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අත්හිටුවීමක් වන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළුමනින් හෝ එහි කොටසක් හෝ අත්හිටුවීම සඳහා නියෝගයක් ලබාදීමට කිසිදු අධිකරණයකට බලයක් නොමැති බව මම සඳහන් කළෙමි. මීට පෙර එවැනි අවස්ථාවක් වූයේ දෙවන ලෝක යුද්ධය ආරම්භයේ ජර්මනියේ ඇඩොලප් හිට්ලර් වේමර්ස් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ සිවිල් අයිතිවාසිකම් පරිච්ඡේදය අත්හිටුවීමයි.

මා විසින් පෙර ඉදිරිපත් කළ අතර යම් කාරණා සම්බන්ධව නීතිමය තත්ත්වය පැහැදිලි කිරීමක් සභානායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිතුමා විසින් ද සිදු කරන ලදී.

එකී ප්‍රකාශය සම්බන්ධව අධිකරණ සේවා සංගමයේ සභාපති ලෙස දිසා විනිසුරු රුවන් දිසානායක මහතා සහ ලේකම් ලෙස ඉසුරු නෙත්තිකුමාරගේ මහතා විසින් 2024 ජුනි 24 වන දින නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය අනුව මා විසින් වගකීම් විරහිතව වෛරී සහගතව සිදුකරන ලද්දක් බව සඳහන් කර ඇත. තවද එය අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා ඉවත් කිරීම සඳහා සිදුකළ ව්‍යාපෘතියක් ලෙසද හඳුන්වා ඇත. ඉහත කී චෝදනාවලට එම කොමිසමේ ලේකම්වරයාගේ යම් රැකවරණයක් ලැබී ඇති බව එම නිවේදනය මගින්ම තහවුරු කර ඇත. එම මාධ්‍ය නිවේදනයේ පිටපතක් “X 1” ලෙස මීට අමුණා ඇත.

2010 සැප්තැම්බර් 01 දින අධිකරණ සේවා කොමිෂන් සභාව නිකුත් කළ අංක 328 දරන චක්‍රලේකය මගින් සියලුම දිසා අධිකරණ විනිසුරුවරු සහ මහෙස්ත්‍රාත්වරු වෙත දන්වා ඇත්තේ ප්‍රසිද්ධ ප්‍රකාශ සිදු කිරීමෙන් එම විනිසුරුවරුන් වැළැකී සිටිය යුතු බවත්, එය උල්ලංඝනය කළහොත් විනයානුකූල පියවර ගන්නා බවත්ය.

ශ්‍රී ලංකා ජනරජයේ ජනතාවගේ අධිකරණ බලය පිළිබඳ අවසාන වගකීම පැවරී ඇත්තේ පාර්ලිමේන්තුවටය. පාර්ලිමේන්තුව විසින් නිශ්චිතව පවරා දෙනු ලබන බලතල ක්‍රියාත්මක කිරීම අධිකරණය විසින් සිදුකරනු ලබයි. එම අධිකරණ ක්‍රියාවලිය අනීතික ලෙස සිදුකරනු ලබන්නේ නම් හෝ අයුතු ලෙස යොදාගනු ලබන්නේ නම් ඒ පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් කරමින් ඒ හරහා ජනතාවට දැනුවත් වීමට අවස්ථාව ලබාදීම අධිකරණ අමාත්‍යවරයා වෙත පැවරී ඇති අනුල්ලංඝනීය වගකීමක් වේ.

ඉහත කී කාරණා පිළිබඳ සත්‍ය සොයා බලා නීතිමය පියවර ගැනීමට කටයුතු කිරීම අධිකරණ ක්ෂේත්‍රයේ සියලු විනිසුරුවරුන්ගේ සහ නිලධාරීන්ගේ වගකීමක්ව තිබියදී එම කරුණු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් ද්වේෂසහගතව මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමට කිසිවකුටත් අයිතිවාසිකමක් නොමැත.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment