අධිකරණ තීන්දු නිසා එජාපය ශ්‍රීලනිපය බිමටම සමතලා වුණා

1026

අන්තිමට අගවිනිසුරු විතරක් ඉතිරි වේවි
නඩු තීන්දුවකට දයාසිරිගෙන් දැඩි විවේචනයක්
අධිකරණයේ වැඩ නිසා බැනුම් අහන්නේ ආණ්ඩුව – ඇමැති විජයදාස
මෙතුමන්ලා මතු කළේ බොහොම වැදගත් කරුණු -කථානායක

අධිකරණ තීන්දු නිසා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන දැවැන්තම… දේශපාලන පක්ෂ දෙකක් බිමට සමතලා වූ බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19 දා) වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් සඳහන් කළේය.

ජනාධිපති විසින් අභියාචනාධිකරණයේ විනිසුරු බන්ධුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කිරීමට ගනු ලැබූ නිර්දේශය ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවරූ නඩුවට ලද තීන්දුව ඉතාම බරපතල බව හෙතෙම සඳහන් කළේය. එම තීන්දුව මගින් විනිසුරුවරුන් පත් කිරීම ද තාවකාලිකව නවතා ඇති හෙයින් එම තීන්දුව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් අක්‍රීය කර ඇතැයි ද කී මන්ත්‍රීවරයා එය මන්ත්‍රී වරප්‍රසාද මෙන්ම ජනතා පරමාධිපත්‍ය කඩ කිරීමක් බවත් කියා සිටියේය.

මේ වන විට අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 05ක් සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ තනතුරු 02ක් පුරප්පාඩු වී ඇති නිසා නඩු විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බව ද එම තීන්දුව නිසා අලුතින් විනිසුරුවරුන් පත් කිරීමට නොහැකි වී අවසානයේදී අගවිනිසුරු පමණක් ඉතිරිවනු ඇතැයි ද කියමින් දයාසිරි මහතා අදාළ තීන්දුව දැඩි ලෙස විවේචනය කළේය.

එබැවින් අධිකරණවලින් ලබා දෙන මෙවැනි තීන්දු ලබා දීම පිළිබඳව පවතින දැඩි ගැටලුකාරී තත්ත්වය සොයා බලා ඒවාට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය. ඊට අමතරව කොළඹ අධිකරණ කිහිපයකින් ආන්දෝලනාත්මක දේශපාලන ගැටලු සම්බන්ධයෙන් නඩු තීන්දු ප්‍රකාශයට පත් කිරීමෙන් රටේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් ගණනාවක් අපහසුතාවයට පත්ව ඇතැයි සඳහන් කළේය.

එහිදී තමන් සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුවක් නිසා තමන්ට මාස අටහමාරක් තිස්සේ දේශපාලනය කිරීම සඳහා දේශපාලන පක්ෂයක් නැති වී ගොස් ඇතැයි ද කී මන්ත්‍රීවරයා තම නඩුව මාස තුනහමාරක් තිස්සේ විභාගයට ගැනීමට දින ගැනීමට නොහැකි වී ඇතැයි ද කීය.

අතීතයේදී දුන් අධිකරණ තීන්දු ද දේශපාලකයන්ට දැඩි ලෙස බලපෑ බවත් කී දයාසිරි ජයසේකර මහතා 1992 වසරේදී දුන් ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක යන මහත්වරුන් පක්ෂයෙන් නෙරපීමට දුන් තීන්දුවක් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩී ගිය බව ද කියා සිටියේය. ඉන් අනතුරුව එහි සිටි දේශපාලන නායකයන් රැසක් ඝාතනය වූ බවත් ඊට ද බලපෑවේ එක් නඩු තීන්දුවක් යැයි චෝදනා කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද අද වන විට අත්වී ඇත්තේ එම ඉරණමම බවත් අද වන විට ශ්‍රීලනිපයට වාරණ නියෝග 14ක්දී ඇති බවත් එමගින් එම පක්ෂය ද අකර්මණ්‍ය වී ඇති බවත් කී හෙතෙම මේ ආකාරයට විනිසුරුවරුන් තුන් හතර දෙනෙක් නිසා භයානක තත්ත්වයන් රැසක් උද්ගත වී ඇතැයි ද කීය.

අභියාචනාධිකරණයේ විනිසුරු බන්ධුල කරුණාරත්න මහතා සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුව නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (7(අ) යන පරිච්ඡේදයක්ම සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී ඇතැයි ද එබැවින් කථානායක සභාපති ධුරය දරන ව්‍යවස්ථා සභාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා විනිසුරුවරුන් පත් කිරීමට ද නොහැකි යැයි ද හෙතෙම පැවසීය. එබැවින් මෙම තත්ත්වයට වහා විසඳුම් ලබා නොදුනහොත් විධායකය, අධිකරණය, ව්‍යවස්ථාදායකය යන රටේ ප්‍රධානම කුලුනු තුන විනාශ වෙනු ඇතැයිද කී මන්ත්‍රීවරයා මේ කරුණු සම්බන්ධයෙන් වහා පියවර ගන්නැයි ඉල්ලා සිටියේය.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේ, කුමන තත්ත්වයක් යටතේ වුවද විනිසුරුවරුන් යුක්තිය ඉෂ්ට කළ යුතු බවය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීම තහනම් කිරීමට දුන් නියෝගය හේතුවෙන් අගවිනිසුරු පමණක් ඉතිරි වී ශ්‍රේෂ්ඨාධිකරණය වසා දමන තත්ත්වයක් මතුවේ යැයි ද කීය. අදාළ තීන්දුව රටේ ප්‍රධානම පුද්ගලයන් සිවු දෙනාටම බලපාන බවත් සමස්ත ව්‍යවස්ථාදායකය සහ විධායකය අතුරු නියෝගයකින් මේ වන විට බැඳ තබා තිබෙන බවත් ඇමැතිවරයා පැවසීය. එක් පුද්ගලයකුට සිදු වූ අසාධාරණයක් සම්බන්ධයෙන් දුන් තීන්දුවක් මගින් රටේ සමස්ත අධිකරණ පද්ධතියම අකර්මණ්‍ය කිරීමේ බලයක් කිසිවකුටවත් ව්‍යවස්ථාවෙන් ඉඩ ලබා දී නැතැයි ද හෙතෙම පැවසීය.

මෙවැනි අවස්ථාවක් ලෝකයේ සිදුවී ඇති දෙවැනි අවස්ථාව මෙය බව ද කී ඇමැතිවරයා අධිකරණවලින් සිදු වන මෙවැනි දේවල් නිසා බැනුම් අහන්නේ ආණ්ඩුව සහ මැති ඇමැතිවරුන් යැයි ද සඳහන් කළේය.

අධිකරණ සේවයේ බහුතරයක් ඉතා හොඳ අය බවත් අතේ ඇඟිලි ගණනට පමණක් නුසුදුසු අය සිටින බවත් කී ඇමැතිවරයා එහි බොහෝ දෙනෙක් එම කිහිප දෙනා නිසා දැඩි මානසික පීඩනයට පත් වී ඇතැයි ද කීය.

එහිදී කථානායක මෙසේ කීය.

මෙතුමන්ලා මතු කළේ බොහොම වැදගත් කරුණක්. අපි පක්ෂ නායක රැස්වීමට මෙය යොමු කරලා තීරණයක් ගමු.

අධිකරණයේ පවතින එවැනි ගැටලු සම්බන්ධයෙන් සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද අමරවීර, ලක්ෂ්මන් කිරිඇල්ල, විමල් වීරවංශ, ප්‍රේමනාත් සී. දොලවත්ත යන මහත්වරුද එහිදී අදහස් දැක්වූහ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment