අනියම් බිරිය මරා සිරුර ගමන් මල්ලක බහා බස් නැවතුමේ දමා ගිය අනියම් සැමියා පෝරකේට

50

මෙයට වසර දහයකට පමණ පෙර එනම් 2015 වසරේ ජූලි 29 වැනිදා කොළඹ හෙට්ටිවීදිය ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලකදී සිය අනියම් බිරිඳ ඝාතනය කොට ඇගේ මළ සිරුර ගමන් බෑගයක බහා කොළඹ බැස්ටියන් පාරේ පිහිටි බස් නැවතුම්පළේ දමා යෑම ඇතුළු චෝදනාවලට වරදකරු කරනු ලැබූ විත්තිකරුවකුට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (24දා) මරණීය දණ්ඩනය නියම කළේය.

පැටික් නිෂ්ණරාජා නමැති එම විත්තිකර මිනීමැරුම් චෝදනාවට වරදකරු බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නිකුත් කළ සිය තීන්දුව මගින් නිගමනය කළ විනිසුරුවරයා එම දඬුවම නියම කළේය.

ධර්මරාජා කර්තිකා නමැති එම කාන්තාවගේ මළ සිරුර සහිත බෑගය සොයාගත් පොලිසිය ඇගේ ඡායාරූපය මාධ්‍ය මගින් ප්‍රචාරය කොට ඇයගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට සමත්ව තිබිණි. මියගිය කාන්තාව යාපනය වඩුකෝට්ටෙයි ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි විවාහක එක්දරු මවක බවත් ඇය වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ විත්තිකරු සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් එකී ඝාතනය සිදුවීමට දින හයකට පමණ පෙර සිට ඇය විත්තිකරු සමග එම ලැගුම්හලේ නවාතැන් ගෙන සිටි බවත් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් විය.

එකී මිනීමැරීමේ චෝදනාවට තමන් නිවැරදිකරු බව මරණ දඬුවම නියම කිරීමට පෙර අධිකරණය ඇමතූ විත්තිකරු පවසා සිටි නමුත් ඉදිරිපත් වූ සාක්ෂි අනුව විත්තිකරු එකී ඝාතනය සිදුකර ඇති බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇතැයි නිගමනය කළ විනිසුරුවරයා එම දඬුවම නියම කළේය. රජයේ අධිනීතිඥ නිමේෂා ද අල්විස් මහත්මිය නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූවාය.

ඒ.ජේ.ඒ. අබේනායක


advertistmentadvertistment