හදිසි හස්තයක මැදිහත් වීමෙන් යන්ත්‍රය කරාපිටියට දෙන්න යනවාලු – සෞඛ්‍ය ඇමැති ගමට අදිනවා – පිළිකා රෝගීන්ගේ ඥාතීහු මැසිවිලි නඟති
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිළිකා රෝගීන් සඳහා විකිරණ ප්‍රතිකාර කිරීමට භාවිත කරන හෙල්සියෝන් යන්ත්‍රය මාස කිහිපයක් තිස්සේ අක්‍රීය වීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි රෝගීහු මෙන්ම ඔවුන්ගේ ඥාතීහු පවසති.
මේ හේතුවෙන් තමන්ට තම රෝගීයාද කැටුව අධික වියදමක් දරා දැඩි අපහසුතාවකින් ප්‍රතිකාර ගැනීම සඳහා මහරගම පිළිකා රෝහලට යෑමට සිදුව ඇති බවත් ඔවුහු පවසති.
උතුරු මැද, උතුරු ප්‍රදේශය හා පුත්තලම වැනි දුර බැහැර ප්‍රදේශවල පදිංචි පිළිකා රෝගීන් විශාල ප්‍රමාණයක් ප්‍රතිකාර ලබාගැනීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණෙති.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වසර ගණනාවක් පැරණි අක්‍රීයව ඇති මෙම හෙල්සියෝන් යන්ත්‍රය වෙනුවට නව යන්ත්‍රයක් අනුරාධපුර ශික්ෂණ රෝහලට ලබාගැනීමට මැදිහත් වන ලෙසට මෙම පිළිකා රෝගීන්ගේ ඥාතීහු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන සහ රුවන්වැලි සෑ විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක යන නා හිමිවරුන්ගෙන්ද ඉල්ලීමක් කොට තිබුණි.
ඒ අනුව උන්වහන්සේලා මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ගෙන් සිදුකළ ඉල්ලීමක් අනුව මෙම හෙල්සියෝන් යන්ත්‍රයක් අනුරාධපුර ශික්ෂණ රෝහලට ලබාදීමට එකඟව තිබුණි.
එහෙත් අවාසනාවකට හදිසි හස්තයක මැදිහත් වීමෙන් මෙම හෙල්සියෝන් යන්ත්‍රය කරාපිටිය රෝහලට ලබාදීමේ සූදානමක් ඇතැයි මේ පිළිබඳ සිදුකළ විමසුමකදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ උසස් නිලධාරියකු පැවසීය. සෞඛ්‍ය අමාත්‍යවරයා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වීමෙන් ගමට අදින නිසා තමන්ට මෙවන් අසාධාරණයක් සිදුකරන බවට පිළිකා රෝගීන්ගේ ඥාතීහු මැසිවිලි නඟති.
ඉතා කඩිනමින් අනුරාධපුර ශික්ෂණ රෝහලට හෙල්සියෝන් යන්ත්‍රයක් ලබාදෙන ලෙසට පිළිකා රෝගීන්ගේ ඥාතීහු වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.
නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා