අඳුරු කරළියේ සොඳුරු දිවාකර අද

2

ප්‍රවීණ වේදිකා ආලෝකකරණ ශිල්පී උපාලි වීරසිංහ විසින් රචිත “අඳුරු කරළියේ සොඳුරු දිවාකර’ කෘතිය එළිදැක්වීම සහ ඇගයුම් උළෙල අද (28 වැනිදා) මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී පැවැත්වේ. මෙහි ප්‍රධාන දේශනය සිදුකරනු ලබන්නේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසිනි. සමන් අතාවුදහෙට්ටි සහෘද ආමන්ත්‍රණයෙන් ද නවරත්න ගමගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ද වේදිකා ආලෝකකරණයෙන් දස්කම් පෑ උපාලි වීරසිංහගේ වසර 60ක මතක මේ හැන්දෑවේ දී දිගහැරේ.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ, සිංහබාහු, ලෝමහංස, මහාසාර, පෙමතෝ ජායතී සෝකෝ, බව කඩතුරාව, පබාවතී ද හෙන්රි ජයසේනගේ හුණුවටයේ කතාව, කුවේණි, අපට පුතේ මඟක් නැතේ, තවත් උදෑසනක්, ගුණසේන ගලප්පත්තිගේ මූදු පුත්තු, සඳකිඳුරු, ලියතඹරා ද සුගතපාල ද සිල්වාගේ තට්ටුගෙවල්, දුන්න දුනුගමුවේ, බෝඩිංකාරයෝ, මරාසාද්, ආර්. ආර්. සමරකෝන්ගේ කැලණි පාලම, ලෙඩක් නැති ලෙඩෙක්, ජේලර් උන්නැහේ, අහසින් වැටුණු මිනිස්සු වැනි වේදිකා නාට්‍ය රැසක් ද වික්ටර් රත්නායකගේ ‘ස’ ප්‍රසංගය, නන්දා මාලනීගේ සත්‍යයේ ගීතය, පවන, රුවැති ළදක්, පණ්ඩිත් අමරදේවගේ අමර ගීසර, ශ්‍රවණ, ආරාධනා, එච්. ආර්. ජෝතිපාලගේ ජෝති රාත්‍රිය, සුනිල් එදිරිසිංහගේ සඳකඩ පහණ, ගුණදාස කපුගේ ගේ කම්පන, ටී. එම්. ජයරත්නගේ සොඳුරු අතීතය, උපාලි වීරසිංහ අලෝකකරණයෙන් දායක වූ නිර්මාණ අතුරින් කිහිපයකි.

අඳුරු කරළීයේ සොඳුරු දිවාකර හැන්දෑවට ටී. එම්. ජයරත්න, නිශ්ශංක දිද්දෙණිය, ප්‍රසන්නජිත් අබේසූරිය, රවීන්ද්‍ර යසස්, නිමල් ජයසිංහ, ලලිත් ජනකාන්ත, විජිත සල්ගාදු, සුබානි අමරදේව, මිත්‍ර කපුගේ, සමනලී ෆොන්සේකා, සුබුද්ධි ලක්මාලි, රුවින් මනම්පේරි, අනුර මල්වල, උපාලි අත්තනායක, විනුජ ගුණසේකර, සනිති වික්‍රමාරච්චි, පූජා දිනුෂානි, නවෝදා ගලප්පත්ති, කසුනි ගලප්පත්ති, දෙව්නි ගුරුගේ, සචින්තක ගීතාංජන, ප්‍රභාත් දිසානායක, ඉන්දික ජයසිංහ, සිසි ගගනී තිලකරත්න යනාදීහු වේදිකා නාට්‍ය සහ ගෘහස්ථ ප්‍රසංග ගායනයෙන් සහභාගි වන අතර වේදිකා නාට්‍ය ගීත සංගීතය මෙහෙය වීම ශාන්ත පීරිස් විසිනි. මෙහි නර්තන වින්‍යාසය රවිබන්දු විද්‍යාපති ගෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment