අපනයන මාළු මිල බැහැලා

361

මසුන් අපනයනය කිරීමේදී පවතින ගැටලුකාරී තත්ත්වය, ඉන්ධන සහනාධාර ලබා නොදීම, ධීවර ආම්පන්නවල මිල කිසිදු පාලනයක් නොමැතිව දිනෙන් දින ඉහළ යෑම ඇතුළු උද්ගතව පවතින කරුණු රැසක් හේතුවෙන් ධීවර කර්මාන්තය දරුණු කඩා වැටීමකට ලක්වෙමින් පවතින බව ධීවර ක්ෂේත්‍රයේ නියැළෙන කර්මාන්තකරුවෝ පෙන්වා දෙති.

ධීවර ක්ෂේත්‍රෙය් නියැලෙන විවිධ සංගම් නියෝජිතයන් මාධ්‍යයට අදහස් දක්වමින් වර්තමානයේ පවතින තත්ත්වය හෙළිදරව් කළේය. බහුදින යාත්‍රාහිමියන්, එක්දින යාත්‍රා හිමියන්, මත්ස්‍ය හා ඉස්සන් අපනයනකරුවන් ඇතුළු ධීවර ක්ෂේත්‍රයේ අංශ ගණනාවක නියැලෙන්නන් හා වක්‍ර රැකියාවල නියැලෙන්නන් පීඩාවට පත්ව සිටිති.

වෙනදා ධීවර කර්මාන්තයේ යොදවන බහු දින සහ එක්දින යාත්‍රාවලින් සියයයට පනහකටත් වැඩි සංඛ්‍යාවක් රැකියා සඳහා භාවිතයට නොගෙන ධීවර වරායවල්වල සහ තොටුපළවල ගාල් කර තිබීම කනගාටුදායක තත්ත්වයකි.

පවතින අර්බුදකාරී තත්වය දිගින් දිගටම පැවතුණොත් මෙසේ ධීවර තොටුපළවලට සහ වරායවලට ගාල් කරන යාත්‍රා සංඛ්‍යාව දිනෙන් දින වැඩිවීම වැළැක්වීමට නොහැකි බව ධීවර ජනතාව කියති.

සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් මහතා :

අද මත්ස්‍ය සම්පතට නිසි මිලක් නෑ. අපට විශාල පිරිවැයක් දරන්න සිද්ධ වෙලා තියෙනවා ධීවර යාත්‍රාවක් දියත් කරන්න. මාළුන්ගෙ මිල විශාල ලෙස අඩු වෙලා. ඉස්සර රුපියල් ලක්ෂ 25 ක් විතර තමයි බෝට්ටුවක් දියත් කරන්න යන්නේ. දැන් ඒ ගාන ලක්‍ෂ හැත්තෑපහක් දක්වා ඉහළ ගිහිල්ලා. ඒත් අපේ ගේන මාළුවලට නිසි මිලක් නෑ. නමුත් දේශපාලඥයෝ කරන්නේ ණය ගන්න හදනවා. දේශීය කර්මාන්ත ඩොලර් උත්පාදනය කරන ක්ෂේත්‍ර ගැන අවධානය යොමු කරන්නේ නෑ.

සමස්ත ලංකා බහුදින යාත්‍රා සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු මහතා :

අපනයන මාළු මිල හොඳටම බැහැලා. මොකක්ද කියලා හරියටම අපිට කියන්නෙ නෑ බලධාරින්. නමුත් සාමාන්‍යයෙන් කියවෙන්නේ සීෂෙල් වලින් මාලදිවයිනෙන් මාළු යනවා කියලා. කලින් ටූනා කිලෝග්‍රෑම් 1ක් රුපියල් 3500 සිට 2500 ට තිබුණා. දැන් 1300 ට 1200 ට මිල බැහැලා. මේක දරාගන්න බැහැ. ඇත්තටම මොකද අපි විශාල පිරිවැයක් යොදලා තමයි බහුදින යාත්‍රාවක් දියත් කරන්නෙ. ඉතින් මේ වගේ මිලක් වෙද්දී අපි කොහොමද මේ මේ රස්සාව කරන්නේ. මේ ගැටළුව ගැන කියන්න ඇමතිවරයාගෙන් නොවැම්බර් මාසේ ඉඳලා සාකඡාවක් ඉල්ලනවා. මත්ස්‍ය අපනයනයකරුවන් සමඟ සාකච්ඡා කරලා මේ ගැටළුවට නිසි විසඳුමක් ලබා ලබා ගැනීමේ අරමුණින්. අද වෙනකන් ඒකට උත්තරයක් නෑ. ධීවර ඇමතිට ධීවරයන් ගැන කිසිම හැඟීමක් නෑ. අපි කියන්නෙ ජනාධිපති තුමා මීට අවධානය යොමු කර කඩිනම් විසඳුමක් දෙන්න කියලා.

සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික කමිටු සමාජික අජිත් ගිහාන් මහතා :

ධීවර කර්මාන්තයේ සෘජු හා වක්‍ර සියලුදෙනා නන්නත්තාර වෙලා ඉන්නෙ. ධීවරයාට ගහන්න පුළුවන් උපරිම හැම පැත්තෙන්ම අද ගහලා තියෙන්නෙ. දැන් මේ ගැන කතා කරන්න කිසිම කෙනෙක් නෑ. ධීවර ඇමති නිහඬයි. බලධාරීන් නිහඬයි. ඉතින් අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා අපිට සාකච්ඡාවක් ලබා දෙන්න කියලා මේකට විසඳුමක් ලබා ගන්න.

අමරනන්ද විජේසේකර
මහවැව


advertistmentadvertistment