IMF‍ සමග යන ගමනේ සියලුම බර මහජනතාව මත ද?

207

විවිධ අවස්ථාවල දී රට මුහුණදුන් විනිමය අර්බුද හමුවේ මීට පෙර 16 වතාවක් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන ඇත. මෙවර එම අරමුදලේ සහාය අප ලබාගෙන ඇත්තේ 17 වැනි වරට ය. එහෙත් කලින් 16 වතාවට ම වඩා ඉතිහාසයේ දරුණුතම ආර්ථික හා විනිමය අර්බුදයට මෙවර රට මුහුණ දුන් නිසා මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම ගැන නම් විශාල ප්‍රශ්නයක් නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලෙන් පැමිණ රටකට උදව් කරන්නේ නැත. මේ නිසා වෙනත් රටවලට මෙන් ම අප රටට ද අය.ිඑම්.එෆ්. එක උදව් කරන්නේ අපගේ අවශ්‍යතාවට මිස මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවකට නොවේ. අය.ිඑම්.එෆ්. එකේ හොඳ නරක කෙසේ වෙතත් එහි සහාය පැතීමට අවශ්‍ය වන තත්ත්වයට අපේ ආර්ථිකය පත් කළේ අපගේ ම ආර්ථික බලධාරීන්ගේ වැරදි ආර්ථික කළමනාකරණය ම මිස අන්කුමක්ද ? එසේ වැරදි ආර්ථික කළමනාකරණය තුළින් රට අයි.එම්.එෆ්. සහාය පැතිය යුතු තැනට අප විසින් ම පත් කරගෙන දැන් අයි.එම්.එෆ්. එකේ අගුණ කියමින් එයට බැන බැන සිටීම තේරුමක් නැති වැඩකි. දැන් කළ යුතුව ඇත්තේ රට මුහුණ දී සිටින මේ ආර්ථික අර්බුදයෙන් ඉතා ඉක්මනින් මිදී රට නැවත එවැනි තත්ත්වයට පත් නොවන තැනට ක්‍රියාමාර්ග ගැනීමයි.

මෙවර විශේෂත්වය වන්නේ කලින් අයි.එම්.එෆ්. සහාය ලබාගත් අවස්ථා මෙන් නොව, මෙවර අපගේ ණය තිරසාරභාවය ( ණය ගෙවාගෙන යෑමේ හැකියාව) ද අහිමි වී තිබීමයි. ඒ නිසා අපට අයි.එම්.එෆ්. එකෙන් කිසිදු මූල්‍ය පහසුකමක් ගැනීමට නොහැකි තත්ත්වයක් ද මතුව තිබිණි. එබැවින් අයි.එම්.එෆ්. අරමුදල් වැඩසටහනකට ඇතුළත් වීමට පෙර අපට ප්‍රථම වතාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එම ණය හිමියන්ගේ කැමැත්ත ගැනීමට ද සිදු විය. ඒ සඳහා ඔවුන් සමග සාකච්ඡා කරමින් යම් කාලයක් ගත කිරීමට ද අපට සිදු විය. මේ අනුව අපගේ විදේශ ණය පමණක් නොව, දේශීය ණය පවා ප්‍රතිව්‍යුහගත කිරීමට සිදු වූ බව අපි දනිමු. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අප එම ණය හිමියන් සමග එකඟතා ඇතිකරගෙන තිබුණත් දැන් ඒවා අවසන් එකඟතා බවට පත්කරගෙන එම ණය ප්‍රතිව්‍යුහගත කරන ආකාරය සම්බන්ධයෙන් ඔවුන් සමග ගිවිසුම්ගත වීමට අවශ්‍යව තිබේ. දැන් අප පසුකරමින් සිටින්නේ එම ක්‍රියාවලියයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට අදාළ තුන්වන ණය වාරිකය

ලබාගැනීමට නම් අපට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන එම ණය හිමියන් සමග අවසන් එකඟතා ගැන ගිවිසුම්ගත වීමට සිදු වේ. අප දන්නා පරිදි ඒ සම්බන්ධ සාකච්ඡා දැන් සිදුවෙමින් ඇත. මේ සියල්ල අපි දනිමු. දැන් තෙල් හෝ ගෑස් පෝලිම් නැති වුවත් රට තිබෙන්නේ තවමත් හොඳ තැනක නොවේ. ආර්ථිකයේ යම් ස්ථාවර තත්ත්වයක් ඇතිකර ගැනීමට රජය සමත්ව තිබුණත් අප තෝරාගෙන ඇති මේ ගමන් මාර්ගයේ තව බොහෝ දුරක් ගමන් කිරීමට අපට සිදුවනු ඇත.

වර්තමානයේ මේ රටේ බහුතර සාමාන්‍ය ජනයා ඉතිහාසයේ අනෙකුත් සියලු ම කාලවලට වඩා අති දුෂ්කර කාලයක් පසු කරමින් විශාල කැප කිරීම් කරමින් සිටින බව රහසක් නොවේ.

අයි.එම්.එෆ්. සමග යන ගමනේ දී බදු වැඩි කිරීම ඇතුළු සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග හරහා තවදුරටත් බොහෝ ආර්ථික පීඩාවන්ට මුහුණ දීමට ද මෙරට ජනයාට සිදුවනු ඇත. එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ මේ කියන ආර්ථික පීඩාව වැඩි වශයෙන්ම දැරීමට සිදුව ඇත්තේ රට ඒ තත්ත්වයට පත් කිරීමට වගකිව යුතු නැති අතිමහත් බහුතර සාමාන්‍ය ජනයාට වීමයි. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණවල දී විඳීමට සිදුවෙන ආර්ථික පීඩාව හෝ වේදනාව සියලු දෙනාට ම අඩු වැඩි වශයෙන් විඳ ගැනීමට සිදුවෙන නමුත් එම වේදනාව (pain) බෙදා ගැනීමේ දී , ඒ සඳහා වැඩි වශයෙන් දායක වියයුතු වන්නේ කවු ද ? මේ ගැන මේ ලියුම්කරුගේ අදහස නම් ඒ සඳහා හැකියාව සහ ශක්තිය වැඩි වශයෙන් තිබෙන අය එම පීඩාව දරා ගැනීමට සාපේක්ෂව වැඩි දායකත්වයක් ලබාදිය යුතු බවයි. එසේ නම් ධනවත් සහ ඉහළ ආදායම් උපයන අයගෙන් වැඩි බදු මුදලක් අය කර ගැනීම ද මෙහිලා එක් විකල්පයකි. එහෙත් මේ වනතෙක් වැඩි වශයෙන් සිදුව ඇත්තේ නම් වක්‍ර බදු හරහා වැඩි බදු බරක් අතිමහත් බහුතර සමාන්‍ය ජනයා මත පැටවීමයි. කෙසේ හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට ඉහළ වත්කම් හිමි පිරිස් නිසි පරිදි රජයට බදු ගෙවන්නේ ද යන්න ගැන සහතික කර ගැනීමට යොමුව ඇති බව මේ වනවිට රටට ප්‍රකාශ කර තිබේ. මේ ආකාරයට අප සිතන්නේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රජය සහ මහ බැංකුව අනුගමනය කරන ක්‍රියාමාර්ගවල ආර්ථික පීඩාව හෝ වේදනාව බෙදා ගැනීමේ කිසියම් සාධාරණත්වයක් තිබිය යුතු බවයි. එහිදී රටේ මහ බැකුව විසින් රටවැසියාට ලොකු ම ආදර්ශය ලබාදිය යුතු ආයතනය වුවත් සිදුව ඇත්තේ එහි අනිත් පැත්තයි.

පසුගිය වසර කිහිපය මුළුල්ලේ සමස්තයක් ලෙස රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් මූර්ත වැටුප් විශාල ලෙස පහළ ගොස් ඇත්තේ සහ බදු ප්‍රතිපත්තියේ සිදු කළ සංශෝධන හේතුවෙන් තම වැටුපෙන් හෝ ආදායමින් වැය කළ හැකි ආදායම සීමා වීම සිදුව ඇත්තේ මහ බැංකු සේවකයන්ගේ පමණක් නොවේ. මේ අමාරු මොහොතේ විශාල ප්‍රතිශතයක වැටුප් වැඩි කිරීමක් හරහා එම බලපෑම් මුළුමනින්ම තමන් විසින් ම ඉවත් කර ගන්නේ නම් ඔවුන් මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අනුගමනය කරන ක්‍රියාමාර්ගවල ආර්ථික පීඩාව හෝ වේදනාව දැරීමට දායක වන්නේ නැද්ද යන ප්‍රශ්නය මතු වේ. ඒ නිසා අප නම් සිතන්නේ මේ ප්‍රශ්නගත මහ බැංකුවේ වැටුප් වැඩි වීම අඩු තරමේ රටේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වී අය.ිඑම්.එෆ්. තෙවැනි ණය වාරිකය ලැබෙන තෙක් ප්‍රමාද කිරීමට ඉඩ තිබුණු බවයි. මෙවැනි මොහොතක මහ බැංකු නිලධාරීන්ට පමණක් මෙවැනි විශාල වැටුප් වැඩි කිරීමක් සිදු කිරීම සුදුසු නැති බව තේරුම් ගැනීමට තරම් මහ බැංකුවේ පාලක මණ්ඩලයේ ඉන්න අයට මේ රටේ සාමාන්‍ය ජනයා සිටින තත්ත්වය ගැන සංවේදීභාවයක් නොමැති බව පෙනේ. ඒ නිසා වූයේ කුමක් ද ? මහ බැංකුවට මහජනයා තුළ තිබුණු සැලකිය යුතු ගෞරවය ඔවුන් විසින්ම පළුදු කර ගැනීම නොවේ ද ? මෙවන් විශාල වැටුප් වැඩි කිරීමක් මේ වෙලාවේ කිරීම සුදුසු නැති බව ඔය මහ බැංකු පාලක මණ්ඩලයේ කිසිවෙකුට හෝ තේරුම් ගියේ නැද්ද ? එම වැටුප් වැඩි කිරීම අනුමත කළ පාලක මණ්ඩල රැස්වීමේ දී මෙය තරමක් ප්‍රමාද කිරීමට හෝ මේ වැටුප් වැඩි කිරීමේ ප්‍රතිශතයන් අඩු කිරීමට කිසිවෙක් අදහසක් හෝ දැක්වූයේ නැද්ද ? මේ නිසා අද වනවිට රටේ වැඩියෙන් ම බැනුම් අහන කෙනෙක් බවට පත්ව ඇත්තේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ය. එසේ ම වැඩියෙන් ම බැනුම් අහන ආයතනය බවට පත්ව ඇත්තේ මහ බැංකුව ය. මේ වනවිට මහ බැංකුවේ පාලක මණ්ඩලයේ දැනුම්දීම මත මහ බැංකුව විසින් ම පාර්ලිමේන්තුවට කරුණු කියන්නට ගොස් මහ බැංකුවේ වැටුප් ප්‍රශ්නය හොඳට ම අනාගෙන චොර කරගෙන තිබේ. එයට මහ බැංකුවේ පාලක මණ්ඩලය සාමූහිකව වගකිව යුතු බව අපගේ අදහසයි. මහ බැංකුවේ වැටුප් ප්‍රශ්නය ගැන පාර්ලිමේන්තුවට කරුණු කිව්වාම ඔක්කොම හරි ද කියා මහ බැංකුව පාර්ලිමේන්තුවට කරුණු කීමටත් පෙර ම මේ ලියුම්කරු ප්‍රශ්න කළේ ඒ නිසා ය. ඒ නිසා අපටත් කීමට තිබෙන්නේ එම වැටුප් වැඩි කිරීමේ තීරණය නැවත සලකා බලා යම් සුදුසු වෙනත් තීරණයක් ගත යුතු බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් දැනුවත් කිරීමට රජය යම් උත්සහයක් ගෙන තිබේ. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබූ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම පසුගිය මාර්තු 11 වැනිදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් කිව්වත් මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානය පමණක් එක්ව සිට ඇත. ඒ සඳහා සමගි ජන බලවේගය හෝ විපක්ෂ නායකවරයා මෙන් ම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ ද සහභාගිත්වයක් දැකගත නොහැකි විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවල දී සියලු ම පාර්ශ්වයන් එකඟ වන තීරණවලට එළැඹීම වෙනුවෙන් රජයේ කැපවීම මෙහිදී අවධාරණය කෙරුණු බව මේ හමුව ගැන ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය. රජයට ඇත්ත වශයෙන්ම මෙවැනි කැපවීමක් තිබේ නම් එය ඉතා හොඳය. එය රජය විසින් ක්‍රියාවෙන් ඔප්පු කළ යුතු අතර එවිට ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ශ්වයන්ට ද පමණක් නොව සාමාන්‍ය ජනයාට ද විශ්වාසය තහවුරු වනු ඇත.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා මෙහිදී සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු කර ඇති විශ්ලේෂණාත්මක දත්ත සහිත වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි. මෙම සියලු කටයුතු විනිවිදභාවයෙන් පවත්වාගෙන යෑම රජයේ අරමුණ බව පැවසා ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අදාළ විශ්ලේෂණාත්මක දත්ත වාර්තා මෙම සාකච්ඡාව සඳහා සහභාගි වූ දෙමළ ජාතික සන්ධානයට සහ පාර්ලිමේන්තුවට ලබාදීමට කටයුතු කරන බව සඳහන් කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අඛණ්ඩව කටයුතු කිරීම රජයේ අපේක්ෂාව බව වැඩිදුරටත් සඳහන් කර ඇති ජනාධිපතිවරයා මෙම යෝජනා පිළිබඳ තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා සුමන්තිරන් මන්ත්‍රීවරයා ඇතුළු අනෙකුත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සාකච්ඡාවකට ආරාධනා කරන බව ද පවසා ඇත. එම සාකච්ඡා සඳහා සහභාගි වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා සඳහන් කළ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහනේ දී රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සාධනීය සහ නිවැරදි වැඩපිළිවෙළක් වෙනුවෙන් තම සහාය ලබාදෙන බවද ඔහු පවසා ඇත. එහෙත් මේ ගැන මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් දැන් අපි මොකට ද මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්නේ යනුවෙන් ප්‍රශ්න කර තිබුණි. ඔහු ඒ ගැන මෙසේ ද අදහස් දක්වා තිබුණි.

‘මම කියපු කතාවක් වැරදි විදිහට අර්ථකථනය කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ඒක තමයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවකට විපක්ෂයේ පක්ෂවලට ඉඩ දෙන්න කියල මම ඉල්ලුවා කියල. ඒක වැරදියි. මම කිව්වේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ජාත්‍යන්තර ණය හිමියන් සමග කරන සාකච්ඡාවලදී විපක්ෂය සම්බන්ධ කරගන්නා ලෙසයි. මූල්‍ය අරමුදල සහ විදේශීය ණය හිමියන් කියන්නේ කණ්ඩායම් දෙකක්. දැන් අපි මොකට ද මූල්‍ය අරමුදල එක්ක සාකච්ඡා කරන්නේ ? මූල්‍ය අරමුදලේ ගිවිසුම අත්සන් කරල ඉවරයිනේ’

මේ පසුබිම තුළ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කැඳවන ඉදිරි රැස්වීමකට හෝ විපක්ෂයේ සෙසු පාර්ශ්වයන් සහභාගිවේ ද යන්න සැක සහිතය. කෙසේ හෝ ඉකුත් මාර්තු 11 වැනි දින පැවැති රැස්වීමේ දී ද්විපාර්ශ්වික ණය හිමියන්, වාණිජ ණය හිමියන් සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග සිදු කෙරෙමින් පවතින සාකච්ඡා පිළිබඳ මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් පුළුල් පැහැදිලි කිරීමක් සිදු කර තිබුණි. මෙම වසරේ (2024) ජූනි මාසය අවසන් වනවිට මෙම සාකච්ඡා මාලාව අවසන් කිරීමට අපේක්ෂා කරන

බව ද ඔහු පවසා තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පාලන විනිශ්චය සම්බන්ධයෙන් වන වාර්තාව මගින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා පුළුල් ව්‍යුහාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ හමුවේ දී පවසා ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. සුමන්තිරන් මන්ත්‍රීවරයා හැර විපක්ෂයේ අය කෙසේ වෙතත් මේ රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ හා රංජිත් සියඹලාපිටිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ඇතුළු ආණ්ඩුවේ අයම එක්ව සිට ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment