පුංචි ආණ්ඩුවල බලතල කමිටුවකට පවරන ලිපිය රාජ්‍ය පරිපාලන ලේකම් අස්කර ගනී

75

නිල කාලය අවසන් වී තිබෙන පළාත් පාලන ආයතන පාලනය කිරීම සඳහා ඒවායේ බලතල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වෙත පැවරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන ලිපිය ඉවත් කර ගෙන තිබෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී ඇත.

රාජ්‍ය පරිපාලන ලේකම්වරයා විසින් නිකුත් කරන ලද එම ලිපිය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විසින් ගොනු කළ රිට් පෙත්සම ඊයේ (13දා) කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපිය ඉවත් කරගෙන තිබෙන බව දැන්වීය.

එම කටයුතුවලට අදාළව නව ලිපියක් නිකුත් කිරීමට කටයුතු කර ඇති බව රජයේ නීතිඥවරයා දන්වා සිටියේය.

කෙසේ වෙතත්, පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් මහතා කරුණු දක්වමින්, අදාළ ලිපිය ඉවත් කරගෙන තිබෙන්නේ මෙම පෙත්සම ගොනු කිරීමෙන් පසුව බැවින් මෙම පෙත්සම විභාගයට නියම කරන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව පෙත්සම මෙම මස 26 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියම කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment