අපරාධ කල්ලි 10 ක් සමග සෘජු දේශපාලන සබඳතා – මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මැති සබයේදී කියයි

113

බුද්ධි තොරතුරු තිබෙනවා

කල්ලි අතර ගැටුම් වැඩි වුණත් රාජ්‍ය හෝ මහජන ආරක්ෂාවට තර්ජනයක් නෑ

එජාප – සජබ – පොහොට්ටු හිටපු හා සිටින ප්‍රබල චරිත පිටුපස! බූස්සේ රඳවා සිටින අයිඩීඑච් සුද්දාට දේශබන්දු ඝාතනයට කංජිපානි කොන්ත්‍රාත්තුවක් දීලා

අගමැතිනියට මරණීය තර්ජනයක් කිරිමක් ගැනත් විශේෂ පරීක්‍ෂණයක් කරනවා

සජිත් ඝාතන තැත ගැන තොරතුරු තවම තහවුරු නැහැ

කවුදැයි හෙළිකරන්න – දයාසිරි ඉල්ලයි

මේ වන විට දිගින් දිගටම සිදුවන පාතාල වෙඩි තබා ගැනීම් සහ මරා ගැනීම් පසුපස දේශපාලනඥ මැදිහත්වීම් සෘජුව සිදුවන බවට බුද්ධි අංශ විසින් තොරතුරු අනාවරණය කර ඇතැයි ද, ඔවුන් කවුරුන්ද යන වග ඉදිරියේදී හෙළි කරන බව ද මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය යන පක්ෂවල දේශපාලනඥයන්, ප්‍රාදේශීය දේශපාලනඥයන් මෙන්ම හිටපු ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, හිටපු සහ දැනට සිටින ප්‍රාදේශීය ප්‍රබල චරිත ප්‍රබල අපරාධ කණ්ඩායම් 10 ක් සමග සෘජු සම්බන්ධතා පවත්වන බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි ද ඔහු කීය.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරගෙන යන බව ද ඇමැතිවරයා පැවසීය. සංවිධානාත්මක කල්ලි අතර ගැටුම් වර්ධනය වුවද එය රාජ්‍ය හෝ මහජන ආරක්ෂාවට තර්ජනයක් වී නැති බව හෙතෙම මෙම අපරාධ සිද්ධි සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරමින් ඊයේ සඳහන් කළේය.

මෙම පාතාල කල්ලි නිසා සංචාරක සහ ආයෝජන ක්ෂේත්‍රවලට බලපෑම් ඇති වී තිබේදැයි සොයා බැලීම්ට තරම් ක්‍රමවේදයක් ශ්‍රී ලංකා පොලිසියට නැතැයි කී ඇමැතිවරයා පසුගිය කාලයේ සිදු වූ මෙම අපරාධ සිද්ධීන් 32 ක් සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් කර ඇතැයි කීය. ඒවාට සම්බන්ධ වූ වෙඩික්කරුවන් 32 ක් සහ යතුරු පැදි 19ක් මෙන්ම ඒවාට ආධාර අනුබල දුන් පුද්ගලයන් 216ක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද කීය.

ඊට අමතරව එම සිද්ධීන්ට සම්බන්ධ ගිනිඅවි 16 ක්, යතුරුපැදි 36ක්, මෝටර් රථ 02ක්, ත්‍රිරෝද රථ 08 ක් සහ වෑන් රථ 02ක් අත්අඩංගුවට ගෙන ඇති අතර විදේශයන්හි සැඟවී සිටින අපරාධකරුවන් 70 ක් සඳහා රතු නිවේදන නිකුත් කර ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

එහිදී විදේශයන්හි සැඟවී සිටි ලොකු පැටී, රොටුඹ උපාලි, සලිඳු සහ සන්දීප වැනි අපරාධකරුවන් 11 ක් මෙරටට ගෙනවිත් ඇති අතර ගුවන්තොටුපළේදී සිදු කරන අපරාධකරුවන් හඳුනාගැනීම් සඳහා නව තාක්ෂණය වැඩි දියුණු කර ඇතැයිද ඒ මහතා කීය.

මෙම අපරාධ සඳහා ත්‍රිවිධ හමුදාවෙන් පලා ආ පිරිස් යොදාගන්නා බැවින් මේ වන විට එවැනි පුද්ගලයන් තුන්දහසක් පමණ අත්අඩංගුවට ගෙන ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

අද වන විට රට පුරා සිදුවන වෙඩි තැබීම් හා ඝාතන තර්ජන ගැන ආණ්ඩුව දියත් කර ඇති වැඩපිළිවෙළ ප්‍රමාණවත් නොවන බවත් පසුගිය මාස 8ට වෙඩි තැබීම් 79ක් සහ මරණ 52ක් වාර්තා වී ඇති බවත් මේ බරපතළ තත්ත්වය වළක්වා ගැනීමට රජය සතු නිශ්චිත වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ 27/2 යටතේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහජන ආරක්‍ෂක ඇමැතිවරයා මේ බව කියා සිටියේය. පසුගිය රජයන් සමයේ පාතාලයට ගිනිඅවි ලබා දී ඇතැයි කී ඇමැතිවරයා ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්වූ පසුව එම ගිනි අවිවලින් 1278ක් අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන් කළේය.

මෙම සිදු වූ අපරාධ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන ආරම්භ කර ඇතැයි කී ඒ මහතා ඒවාට සම්බන්ධ සැකකරුවන් 216ක් අත්අඩංගුවේ සිටින බවද කීය. එවැනි අපරාධ සිදු වන පොලිස් ස්ථාන 52 ක් හඳුනාගෙන ඇති අතර ඒවා ආවරණය වන පරිදි විශේෂ කාර්ය බළකාය යොදවා හදිසි සෝදිසි කිරීම් සිදු කරන බව පැවසීය.

මේ වන විට විශාල වශයෙන් වැටලීම් සිදු කිරීම, රාත්‍රී සහ දිවා මුර සංචාර සිදුකිරීම, මාර්ග බාධක යොදා සෝදිසි කිරීම, ස්ථිර මාර්ගබාධක යෙදීම, බුද්ධි නිලධාරීන් යොදවා තොරතුරු රැස්කිරීම, පොලිස් රාජකාරී විශේෂ අධීක්ෂණයක් ඇතිව සිදු කිරීම වැනි කටයුතු සිදු කරන බව ද ඔහු සඳහන් කළේය.

මීට අමතරව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමට සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, විශේෂ කාර්යාංශය, කොළඹ අපරාධ කොට්ඨාසය ඒකාබද්ධව විශේෂ කාර්ය සාධක බළකායක් ස්ථාපිත කර තිබෙන බව ද ඇමැතිවරයා කීය.

මේ අතර වැඩ අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඝාතනය කිරීම සඳහා විදේශයක සැඟව සිටින කංජිපානි ඉම්රාන් විසින් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියකු වන බී. සමන් කුමාර නොහොත් අයිඩීඑච් සුද්දා නමැත්තාට දුරකථන ඇමතුමක් මගින් කොන්ත්‍රාත්තුවක් ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇතැයිද ඇමැතිවරයා කීයා සිටියේය.

එමෙන්ම සම්බන්ධයෙන් ද මේ වන විට විශේෂ පරීක්ෂණයක් සිදු කරන අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ස්නයිපර් ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කිරීමේ සූදානමක් ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බවත් එහෙත් එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවට අනාවරණය වී ඇතැයි කීය.

හිටපු රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතාට බැණ තර්ජනය කර ඝාතනය කොට පුළුස්සා දමන බවට කරන ලද තර්ජනය සම්බන්ධයෙන් විමර්ශනය කර එය සමථ මණ්ඩලය වෙත යොමු කර ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.

සමගි ජන බලවේගය අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතාට ද මේ වන විට ජීවිත තර්ජනයක් එල්ල වී ඇතැයි විපක්ෂ නායක මෙන්ම එම මන්ත්‍රීවරයා ද මෙම අවස්ථාවේ ඇමැතිවරයා වෙත කරුණු කීය. ඊට අමතරව රටේ ජනතාවගේ ලක්ෂ දෙසීයකගේ ජීවිතවලට තර්ජනයක් එල්ල වී ඇතැයි විපක්ෂනායක සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මෙම අපරාධවලට සම්බන්ධ දේශපාලනඥයන් වහා හෙළි කරන ලෙස ඉල්ලා සිටියේය. ඊට අමතරව මන්ත්‍රීවරුන්ට සුදුසු පරිදි ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. එම ප්‍රකාශයත් සමග ආණ්ඩුවේ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් එකිනෙකාට චෝදනා කර ගනිමින් සභාවේ ඝෝෂා සිදු කිරීම නිසා සභාවේ උණුසුම් තත්ත්වයක් ද ඇති විය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන


advertistmentadvertistment