ජපමාලය

118

ජපමාල භක්ති අභ්‍යාසය කිතුනු ජනතාව අතර අති දීර්ඝ කාලයක සිට පැවත එන්නකි. ජපමාලය හෙවත් කොන්තය කුඩා කුරුසියකින් හා ඇට 59 කින් යුක්තය. මේ එක් එක් ඇටය සඳහා පරමණ්ඩල යැදුම හෝ නමෝ මරිය යැදුම වාර ගණනාවක් පුරා ජප කිරීම නිසා මෙය ජපමාලය ලෙස දැක්වේ. මෙය පෞද්ගලික හෝ සමූහ වශයෙන් පැවැත්විය හැකි භක්ති අභ්‍යාසයකි.

පෙර කල සෑම කිතුනු පවුලක්ම පාහේ වෙසෙසින් සවස් කල එකට එක්වී ජපමාල යැදුමට සම්බන්ධ වුවත් අද එම තැන රූපවාහිනිය විසින් ඩැහැගෙන ඇති බව දක්නට ලැබේ. ජේසු සමිඳුන්ගේ මෑණියන් දර්ශනය වූ සෑම අවස්ථාවම පාහේ ජපමාල යැදුමේ වටිනාකම සපථ කර ඇති බැවින් එතුමිය ජපමාල මෑණියන් ලෙසින් ද විරුදු ලබා තිබේ. මුල් යුගයේ ශු. බයිබලයේ ගීතාවලියේ ගී 150 උපයෝගි කර ගනිමින් ජපමාල භාවනා නමෝ මරිය 150 කින් ද පරමත්වල හා ත්‍රිත්ව ස්තෝත්‍ර එක බැගින් ද සමන්විත විය.

වත්මන් නමෝ මරිය 10 අවසන ඒ ඒ පන්තියට අයත් අබිරහස් භාවනා කෙරේ. මෙම අබිරහස් සොම්නස්, දොම්නස් හා මෝක්ෂ ලෙස විෂයයන් 5 බැගිනි. 1214 දී ශා. දොමිදික් තුමා ජපමාලය අද පවත්නා ආකාරයට දානය කළේය. 1917 පාතිමා හි දේව මාතා දර්ශනයට පසුව අහෝ මාගේ ජේසුනි, නිරා ගින්නෙන් අප ගලවා ගත මැනව යන කෙටි යෙදුම ද ජපමාලයට එක් විය. මෙරට ජපමාල බැතිය ඇරඹුණේ 1505 පෘතුගීසි ආගමනයට පසුවය. ඕලන්ද පීඩන සමයේ පසුබෑමක් ඇතිවුව ද ජුසේ වාස් මුනිඳුන්ගේ සහායට පැමිණි ජාකොමේ ගොන්සාල්වේස් පියතුමා මෙරට ජපමාල බැතිය වැඩි වර්ධනයට පියවර ගත්තේය.

කැලිස්ටස් ජයමාන්න හීන්කෙන්ද

advertistmentadvertistment
advertistmentadvertistment