අපි අලුතෙන් හිතලා නව නිර්මාණ කළේ නැත්නම් රටක් දියුණු වෙන්නේ නෑ

13

ජාතික ඵලදායීතා සම්මාන තරගාවලිය 2025 – 2026

රට දියුණු වෙන්නේ පුරවැසියන්ගේ නිෂ්පාදන දායකත්වය මතයි – අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය

රටක දියුණුව රැඳී තිබෙන්නේ ඒ රටේ මිනිසුන් රට වෙනුවෙන් ලබාදෙන නිෂ්පාදන දායකත්වය මත බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ජාතික ඵලදායීතා සම්මාන තරගාවලිය 2025/2026 ප්‍රකාශයට පත් කිරීමේ සමාරම්භක අවස්ථාව අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී අග්‍රාමාත්‍යවරියගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණි.

මෙහිදී අධ්‍යාපන අංශය වෙනුවෙන් තරගාවලිය අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය, රාජ්‍ය අංශය වෙනුවෙන් තරගාවලිය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා සහ නිෂ්පාදන හා සේවා වෙනුවෙන් තරගාවලිය ආසියානු ඵලදායිතා සංවිධානයේ මහ ලේකම් ආචාර්ය ඉන්ද්‍ර ප්‍රදාන සිංහවිතාන මහතා විසින් ද ප්‍රකාශයට පත් කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, “පසුගිය වසර කිහිපය තුළ අප රට තුළ උද්ගතව තිබූ ආර්ථික පසුබෑම නිසා අපට මෙම සම්මාන උළෙල පැවැත්වීමට නොහැකි වුණා. අපි රටක් විදිහට ඒ ගැන කණගාටු විය යුතුයි. මේ රට ඒ තත්ත්වයට පත්වුණේ මේ රටේ පාලකයන් නිවැරැදි වෙලාවේ නිවැරදි තීරණ ගත්තෙ නැති නිසා. ඒ බව අපි අවබෝධ කරගෙන ඉන්නවා. අපේ රටේ හෙට දවස වඩාත් යහපත් කිරීමේ අරමුණින් රට ගොඩනැගීමේ ගමන් මඟේ වැදගත් තැනකට අපි ඇවිල්ල තියෙනවා. රටක දියුණුව රැඳී තියෙන්නේ ඒ රටේ මිනිසුන් රට වෙනුවෙන් ලබාදෙන නිෂ්පාදන දායකත්වය මත. අපේ මුතුන්මිත්තන්ගේ කියමනක් තියෙනවා ‘අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී’ කියලා. ඒකෙනුත් කියන්නේ අපි අලුතෙන් හිතලා අලුත් නිර්මාණ කෙරේ නැත්නම් අපි දියුණු වෙන්නේ නෑ කියලා. ඒ නිසා අපි සියලු දෙනාම එකතුවෙලා අලුත් නිර්මාණ බිහි කරලා මේ රට ගොඩනැගීමට දායක වෙන්න කියලා මම ඔබගෙන් ඉල්ලනවා.

මෙම සම්මාන උළෙල නැවත ආරම්භ කිරීම අප රටේ ජනතාවට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ලබාදීමේ කොටසක්. ‘Clean Sri Lanka’ කියන්නෙත් මෙවැනි දේවල් තමා. මේවා එකිනෙකට හුදෙකලා වැඩසටහන් නෙවෙයි. එකිනෙකාට බැඳී පවතින ජාතියක් ගොඩනැඟීම වෙනුවෙන් අප රජයේ දැක්මට සහාය වන ව්‍යාපෘතීන්.

අපි අලුතෙන් හිතලා නව නිර්මාණ කළේ නැත්නම් රටක් දියුණු වෙන්නේ නෑ

ඵලදායිතාවය කියලා කියන්නේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම පමණක් නොව, අරපිරිමැස්මෙන් හා වගකීමෙන් භාවිත කිරීම තුළින් ඉහළ ඵලදායීතාවයක් ලබා ගැනීමට හැකියි. අප අවට පරිසරය පිරිසිදුව හා පිළිවෙලට තබා ගැනීම තුළින් විශේෂයෙන්ම රාජ්‍ය ආයතන තුළ මෙවන් පරිසරයක් නිර්මාණය කිරීම තුළින් වඩා කාර්යක්ෂම සහ පහසුවෙන් කාර්යයන් කර ගැනීමට හැකි වෙනවා. ඵලදායිතාවෙන් වැඩි කිරීම තුළින් අපේ ජීවන තත්ත්වය උසස් වෙනවා. ඵලදායීතාවය පහත වැටීම රටකට අහිතකර ලෙස බලපානවා.

අපේ රට ආර්ථික වශයෙන් පහත වට්ටපු නිසා රට බංකොලොත් යැයි ප්‍රකාශ කිරීමටත් අපට සිද්ධ වුණා. ඒ නිසා උපාය මාර්ගික වශයෙන් ආයෝජන වැඩි කිරීමටත් තිරසර සංවර්ධනයක් සහතික කිරීමටත් තරගකාරීත්වය ඉහළ නැංවීමටත් ඵලදායීතාවය වැඩි කිරීම අත්‍යවශ්‍ය වෙනවා.”

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ. එම්. එම්. එච්. අබේරත්න, මුදල් සහ සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ලේකම් ආචාර්ය සනත් කුමානායක, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


advertistmentadvertistment