අමිල සාම්ප්‍රදායික බිරිඳක් බලාපොරොත්තු වෙන්නේ නැහැ – අනූෂා

335

කිසිම දවසක අනූෂාට නීති දාන්නේ නැහැ
ස’ප්‍රයිස් එක දැන්ම කිව්වොත් වැඩක් නැති වේවි – අමිල
කසාද බැඳලා අවුරුද්දයි අමිල අනූෂා කැදැල්ලේ නැවුම් තතු මෙන්න

සිනමා නිළියක් ටෙලි නාට්‍ය නිළියක් නර්තන රියැලිටි තරුවක් ලෙසින් කලාවේ විවිධ මානයන් ඔස්සේ අතිශය ජනාදරයට පාත්‍ර වූ අනුෂා දමයන්ති විවාහවෙලා පසුගිය 27 වැනිදාට අවුරුද්දයි. ඉතිං අනූෂා – අමිල කැදැල්ලේ නැවුම් තොරතුරු මේ වෙලාවේ ඔයාල සොයනවා ඇති මේ දෙන්නා ඉස්සරහට මොනවද කරන්න හිතාගෙන ඇත්තේ. විවාහයේ පළමු සංවත්සරය සමරන වෙලාවෙම ‘මීවිත’ අපි අමිල – අනුෂාගේ නැවුම් තතු දැන ගන්න අතුරුගිරියේ එයාලගේ නිවහනට ගොඩවැදුණා

අමිල සාම්ප්‍රදායික බිරිඳක් බලාපොරොත්තු වෙන්නේ නැහැ - අනූෂා

අනූෂා විවාහවෙලා පසුගිය 27 වැනිදාට අවුරුද්දයි. කොහොමද විවාහ ජීවිතය?

හැමදාම වගේ සුන්දරයි. ඉතිං අලුත් ජීවිතයක්. අලුත් අත්දැකීම් ගොඩක්. අමිල කියන්නේ අවුරුදු 14ක් තිස්සේ මම දන්න කෙනෙක් නිසා මට හරි ලේසි වුණා. පහසු වුණා. මොකද එයා මාව හොඳට දන්නවා. මගේ ජීවිතය ගෙවෙන්නේ කොහොමද? මගේ වෘත්තිය කොහොමද කියන කාරණා ගැනත් හොඳ හැටි අවබෝධ කරගත් සැමියෙක්. බැන්ද කියලා කරදරයක් නෑ.

බැන්ද කියලා වෙනසක් දැනුනේ නැතිද?

වෙනසක් දැනෙන්න නැතිවෙන්න එයා මගේ ජීවිතයට ලොකු සහයෝගයක් දැක්වූවා වෙනදාට වඩා මට හැම දේම ලෙහෙසියි.

අමිල අවුරුදු 14ක් ආදරය කළාට වඩා වෙනසක් දැන් දැනෙනවාද?

ඇත්තටම ආදරය කරන කොට අපි දෙන්නා ටිකක් දුරින්නේ හිටියේ. දැන් ඉතිං ළඟින් එක ගෙදරක ජීවත් වෙනවා. මේ 27 වැනිදාට බැඳලා අවුරුද්දයි. මම හිතන්නේ ජීවිතයේ සුන්දරම කාලය තමයි මේ ගෙවෙන්නේ. අපි තනියෙන් හිටපු කාලය අවසන් කරලා කසාද බැඳලා පළමු සංවත්සරය තමයි මේ සමරන්නේ. හරිම සුන්දරයි.

අමිල සාම්ප්‍රදායික බිරිඳක් බලාපොරොත්තු වෙන්නේ නැහැ - අනූෂා

අනූෂාට දෙන සර්ප්‍රයිස් එක මොකක්ද?

ඒක කිව්වොත් වැඩක් නැතිවේවි.

අනූෂාට අමිලගෙන් කලා වැඩවලට සහයෝගයක් ලැබෙනවාද?

එයා දන්නවා මම ඒ දේවල් හරි කැපවීමෙන් සහ උනන්දුවෙන් කරනවා කියලා. ඒ වෙලාවට එයා මට කිසි කරදරයක් කරන්නේ නැහැ. මගේ පහසුව කොහොමද? ඒ විදිහට එයා මගේ ජීවිතයත් එක්ක හැඩගැහිලා ඉන්නවා මම ඇත්තටම එයාට හැඩගැහිලා නෙමෙයි, එයා මට හැඩගැහිලා කියලා කියන්න ඕනෑ. මම ඒ වගේ සැමියෙක් ලබන්න වාසනාවන්තයි. සාමාන්‍යයෙන් බිරිඳකගෙන් ස්වාමි පුරුෂයෙක් බලාපොරොත්තුවෙන දේවල් ටිකක් තිබෙනවා මම හිතන්නේ ඔහු මම කලාකාරිණියක් කියලා හඳුනාගෙන තිබෙන නිසා එයා එහෙම සාම්ප්‍රදායික බිරිඳක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.

අමිල සාම්ප්‍රදායික බිරිඳක් බලාපොරොත්තු වෙන්නේ නැහැ - අනූෂා

අමිල ආදරේට මොකක් කියලද කතා කරන්නේ?

එදා ඉඳන් අනු කියලා තමයි කතා කරන්නේ. මම නම් එයාට සුදු මහත්තයා කියලත් කතා කරනවා. වස්තුව, පණ, මැණික කියන ඔක්කොම කියනවා ඒක ඉතිං වෙලාවෙන් වෙලාවට තමයි.

අනුෂා කොහොමද රඟපෑම් වැඩකටයුතු එහෙම?

මේ දවස්වල මම ලොකුවට රංගන කටයුතුවලට දායකත්වයක් දැක්වූයේ නැහැ. මොකද මම පසුගිය දවස්වල හිරු ටීවී නාලිකාවේ ස්ටෙපප් අප් නර්තන වැඩසටහනේ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවක් විදිහටත් වැඩ කළා. සිනමා නිර්මාණ කිහිපයකටම ආරාධනා කරලා තිබෙනවා. රංජන් අයියගේ අලුත්ම චිත්‍රපටයේ මම වැඩ කරන්න හිතාගෙන ඉන්නවා.

එතකොට නර්තන වැඩකටයුතුවලට මොකද වුණේ?

ඉස්සර නම් ප්‍රසංග ගොඩක් තිබුණා. ඇත්තම කිව්වොත් දැන් ඉතිං නර්තන ප්‍රසංග අඩුයි ඉස්සර නම් අපි මේ වෙනකොට විදෙස් සංචාරවල. ආරාධනා කළොත් අනිවාර්යයෙන්ම නර්තන කටයුතුවල නියැලෙනවා. ඒ කාලේ තරම් ප්‍රසංග නැති එක ගැන පුංචි දුකක් තියෙනවා.

අමිලගේ ව්‍යාපාර වැඩකටයුතු එහෙම කොහොමද?

මගේ ව්‍යාපාර වැඩයි අනුෂගේ වැඩයි සමබරව පවත්වාගෙන යනවා එයාට අවශ්‍ය සහයෝගයත් අවශ්‍ය හැම වෙලාවකදීම දක්වනවා.

සීමාවන් දාන්නේ නැහැ?

නැහැ කිසිම දෙයක් නැහැ මම එදා ඉඳලා දන්නවා අනුෂා වෘත්තියෙන් මොන තැනකද ඉන්නේ කියලා එයා කරන්නේ කාර්යබහුල වෘත්තියක්. ඒක මම තේරුම් අරගෙන ජීවත් වෙන කෙනෙක්. ඒක හින්දා කිසිම දවසක එයාට නීති දාන්නේ නැහැ. ඉස්සරහටත් ඒක එහෙමයි.

කොහොමද ජිම් එකේ වැඩකටයුතු?

හොඳින් කරගෙන යනවා.

අලුත් අය පුහුණුවීම් කිරීම නැවැත්තුවාද?

අපොයි නැහැ කරගෙන යනවා.

ළඟදී ජාත්‍යන්තර තරග එහෙම තියෙනවාද?

මේ වසරේ පැවැත් වුණ තරග අවසන් වුණා. ආපහු ලබන වසරේ තමයි තරග පැවැත්වෙන්නේ.

අනූෂාගේ රඟපෑමට ද, නර්තනයටද කැමති?

එහෙම තෝරාබේරාගෙන කියන්න බැහැ. අනූෂා රංගනය, නර්තනය වගේම ගීත ගායනයත් කරන කෙනෙක්. අනික එයා ඕනෑම කලා කටයුත්තක් කරන්න ගියහම සෑහෙන කැපවෙලා කරන කෙනෙක්. ඒක මම ඇස් දෙකටම දැකලා තිබෙනවා.

ඔබේ වැඩවලට මොනවගේ සහයෝගයක් ද ලැබෙන්නේ?

මගේ ව්‍යාපාර කටයුතු කරගෙන යෑමට සෑහෙන නිදහසක් ලැබිලා තිබෙනවා. මම මොනවා හරි දෙයක් අලුතෙන් පටන් ගන්න යනවා නම් එයාගෙන් අහලා තමයි පටන් ගන්නේ. ඒ හින්ද කිසිම දෙයක් ප්‍රශ්නයක් නැතිව කරගෙන යනවා.

ගෙවී ගිය කාලය අනුෂා ඔබට කොහොමද දැනුනේ?

බැඳලා අවුරුද්දයි ඉස්සර මම හැම දේටම සහභාගි වෙන්න වුණා. හැබැයි දැන්නම් මම සියයට පනහක් විතර අමිලට ලබාදෙනවා මට ජීවිතයේ හරි ලොකු පහසුවක් තමයි දැනෙන්නේ. විවාහ වුණාට සමහරුන්ට හිතෙනවා ගේ වැඩ වැඩියි කියලා. මට ඇත්තටම එහෙම දෙයක් හිතිලා නැහැ.

එතකොට වගකීම් වැඩි වුණේ නැතිද?

අමිල මට වගකීම් කියලා දෙයක් දුන්නේ නැහැ. අනික අමිල කියන්නේ වගකීම් සහිත චරිතයක්. එයාට එක ව්‍යාපාරයක් කියලා නෑ ව්‍යාපාර කිහිපයක් සමග ගනුදෙනු කරනවා. ඉතිං එයාට දවස කළමනාකරණය කරගන්න අවශ්‍යයි. ඒකත් එක්ක මම එයාට ලොකු සහයෝගයක් ලබාදෙනවා. බිරිඳක් හැටියටත් මම හිතන්නේ නොපිරිහෙලා මගෙන් වෙන්න ඕනෑ යුතුකම් ඉෂ්ට කරනවා අනික මම ආසයි හොඳ බිරිඳක් හැටියට කටයුතු කරන්න. අනික එයා දන්නවා මම එදා මෙදාතුර කොහොමද කටයුතු කරන්නේ කියලත්.

අමිල මේ අවුරුද්දක කාලය තුළ බැනපු අවස්ථා එහෙම නැතිද?

පොඩි පොඩි රණ්ඩු වෙනවා. ගැහැනු ළමයි කොහොමටත් රණ්ඩුවට බරයිනේ. හැබැයි ඒවා හරි සුන්දර රණ්ඩු. එතකොට මට ටිකක් වාසියි මම කැමති දේවල් වැඩිපුර ඉල්ල ගන්න පුළුවන්.

අමිලට කේන්ති ගියහම මොන වගේද?

අමිල එහෙම රණ්ඩුවට බර කෙනෙක් නෙමෙයි. ඇත්තටම අමිල ටිකක් නිශ්ශබ්ද චරිතයක්. අමිල රණ්ඩු වෙන්නේම නැහැ. එයා හරි නිවුණු චරිතයක්. ඒ වගේම නිහඬ කෙනෙක් මම තමයි ටිකක් දඟ කේන්ති යන චරිතය. අපි දෙන්නා මැච් වෙන්නෙත් ඒ නිසයි. කොහොමත් අපි දෙන්නා ජීවිතය විඳින්න ඕනෑ කියලා හිතන දෙන්නෙක්.

අවුරුදු 14ක් ඔබව හංගාගෙන හිටියා නේද අනුෂා ඒ ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම අවුරුදු 14ක් අපි දෙන්නා ආදරය කරපු හින්දනේ අද වෙනකොට මේ ආදර කතාවට මේ තරම් ලොකු වටිනාකමක් ලැබිලා තියෙන්නේ. හරි සුන්දර ලස්සන විවාහ උත්සවයක් පවා අපිට ගන්න පුළුවන් වුණා. ඒ විවාහ උත්සවයට ලොකු වටිනාකමක් ලැබුණා. ඒ සුන්දරකම අදටත් අපි දෙන්නට නැවුම්ව විඳින්න පුළුවන්වෙලා තිබෙනවා.

අනුෂාට මොනවද ඒ ගැන කියන්න තියෙන්නේ?

අපි දෙන්නාගේ පවුල්වල සාමාජිකයෝ නිතර මුණගැසෙනවා. හැබැයි මගේ කලා කටයුතුවලට සම්බන්ධ වුණේ නැහැ. ඒ වගේම කලා උත්සවවලට අමිල සම්බන්ධ වුණේ නැහැ. මේ තමයි මම විවාහ ඉන්න කෙනා කියලා මම බඳිනකම් හඳුන්වලා දුන්නේ නැහැ. මගේ රැකියාව සහ ආදරය මම විවාහ වෙනකම් දෙපැත්තක තියාගෙන හිටියා. මම හිතන්නේ ඒක තමයි ලොකුම රහස බවට පත් වුණේ.

අනූෂාට කේන්ති ගියහම මොනවගේද අමිල?

එහෙම නැහැ. පොඩි පොඩි දේවල්වලට පොඩ්ඩක් කෑගහනවා ඒවත් ඉතිං මගේම වැරදිවලට තමයි. ගොඩක් දුරට මම නිශ්ශබ්දව ඉන්නවා.

කවුරුහරි අමිලට රඟපාන්න කතා කළොත් අනූෂා මොනවද කරන්නේ?

අමිල රඟපාලා තියෙනවා. මොඩ්ල් කරලා තිබෙනවා එයා කලා කටයුතුවලට සම්බන්ධ වෙලා හිටියා දැන් ඒ දේවල් කරන්න එයාම තමයි කැමති නැත්තේ. එයා ගීත ගායනයට තමයි කැමති අනාගතයේදී ගීතයක් නිර්මාණය කරනවා කියලා කියනවා.

අමිල දැන්ම ගීතය එළිදක්වනවාද?

ඒකට හරි වෙලාවක් එයි කියලා මම හිතනවා අපි දෙන්නගේ හැම දේම හරි විදිහට වෙමින් පවතිනවා. හරි වෙලාවක් ආවහම ඒකත් සිදුකරනවා.

මේ වෙලාවේ අනුෂා ගැන අම්මට මොන වගේ හැඟීමක් ද තිබෙන්නේ?

මම හිතන්නේ ඕනෑම අම්මා කෙනෙක් සතුටුයි දරුවෝ බැඳලා සතුටින් ඉන්නවට. දැන් ඉතිං ටිකක් විතර නිදහස් වගේ. හැබැයි අම්මා කැමති නැහැ ඒ නිදහසට. එයා මාත් එක්ක හරි එකතුයි අමිල කියන්නෙත් මගේ අම්මාව හොඳින් තේරුම් ගත්ත කෙනෙක්. ඇය මට මුළු ජීවිතයම ලෝකයම පෙන්වපු කෙනෙක්.

අනූෂාගේ අම්මා ඔබව පිළිගත්තේ කොහොමද?

අනුෂාගේ අම්මත් මගේ අම්මාම තමයි. මම ගෙදර හිටියත් මෙහේ හිටියත් මට කිසිම අඩුපාඩුවක් දැනෙන්න දෙන්නේ නෑ. හරිම ආදරණීයයි. පුතෙකුට වගේම මට සලකනවා. හැම දේම හොයලා බලනවා. මට දැන් අම්මලා දෙන්නෙක් ඉන්නවා.

අනූෂා කසාදයත් එක්ක ජනප්‍රියත්වය අඩු වුණාද?

මගේ විවාහයත් එක්ක තව තවත් ගොඩක් අය මට ආදරණීය වුණා. ජනප්‍රියත්වයත් වැඩි වුණාද කොහේද? නිළියක් විදිහට මම ගෙවන ජීවිතය ගැන ප්‍රේක්‍ෂකයෝ හරි ආඩම්බරයි මගේ සම්මානය ප්‍රේක්‍ෂකයෝ තමයි ප්‍රේක්‍ෂක ආදරය කරදරයක් කියලා හිතුවෙත් නැහැ. ඒ හින්දා ඒ ආදරය අඩුවක් වුණේ නෑ.

අමිල – අනූෂා කැදැල්ලට අලුත් අමුත්තෙක් දැන්ම එකතුකරගන්න අදහසක් තිබෙනවාද?

ඔව්. අනිවාර්යයෙන්ම. විවාහයත් එක්ක ඊළඟට බලාපොරොත්තු වෙන්නේ ඒකනේ. පසුගිය දවස්වල බොරු ප්‍රවෘත්තියක් ගියා මම අම්මා කෙනෙක් වෙන්න සූදානමින් කියලා ඇත්තටම ඒක නෙමෙයි ඇත්ත. මම අම්මා කෙනෙක් වෙන්න සූදානම් වුණහම ප්‍රේක්‍ෂකයන්ට, මාධ්‍යයට අනිවාර්යයෙන්ම කියනවා. මම හිතන්නේ ලබන අවුරුද්දේ ඒ කටයුත්ත සඳහා සූදානමින් ඉන්නේ. ස්වභාවදහම තුළ ඉපදුනා නම් අම්මා කියන උත්තරීතර නාමයත් මා වෙත ලබා ගන්න ඕනෑ. ඒකටත් ලබන වසරේ ලෑස්තියි.

ජීවිතයට ආපු විවේචන කොහොමද දකින්නේ?

සමහරු විවේචනය කරනවා. සමහරු ප්‍රශංසා කරනවා. අටලෝ දහමට අනුව ඒ හැම දෙයක්ම මම සමබරව ගන්නවා. සමහර වෙලාවට විවේචනය තුළිනුත් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. ප්‍රශංසා තුළිනුත් අපි තව තවත් උද්යෝගයට පත්වෙනවා. ප්‍රේක්‍ෂකයන්ට මම කොහොමත් ආදරෙයි.

දිනේෂ් විතාන
ඡායාරූප – ගයාන් කරුණාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment