ළමා කාලය සැබවින්ම අති සුන්දරය. අප කාගේත් ළමා කාලය සිහිපත් කරන විට අමතක නොවන සුන්දර මතක සිහිපත් වන බව නොකිවමනාය. අප කුඩා කල අපට සුන්දර ළමා කාලයක් හිමිව තිබුණ ද වර්තමානයේ ළමා පරපුරට එවන් සුන්දර ළමා කාලයක් හිමිව තිබේ ද යන්න ප්‍රශ්නාර්ථයක් බවට පත්ව හමාරය. අප ළමා කාලය ගෙවූ 1970, 1980, 1990 යන දශකවල අපට තිබූ මානසික නිදහස වත්මන් ළමා පරපුරට නැත. අද වනවිට ළමයින් බහුතරයක් අධ්‍යාපනික තරගය නිසාවෙන් යන්ත්‍ර බවට පත්ව ඇති සෙයක් පෙනේ. එසේම තරගකාරී සමාජ, ආර්ථික හා අධ්‍යාපනික රාමුව තුළ පරාර්ථය පසෙකලා තිබූ ආත්මාර්ථය ඉස්මතු වන බව නම් ඉතාම පැහැදිලිය.
විශේෂයෙන් අප කුඩා කාලය වූ 20 වැනි සියවසේ අගභාගයට වඩා වත්මන් 21 වැනි සියවසේ මුල භාගයේ දරුවන්ගේ ළමා ලෝකය සාපේක්ෂව වත්පොහොසත්කම් අතින් ද භෞතික සම්පත් අතින් ද, විශේෂයෙන්ම නවීන තාක්ෂණය හා තාක්ෂණික මෙවලම් අතින් ද ඒ හා සබැඳි විද්‍යාත්මක දැනුම අතින් ද පැහැදිලිවම ඉදිරියෙන් සිටී. ඒ එසේ වූත් ඒ හරහා එදා නොතිබූ අවිවේකී බවක් හුදෙකලා පීඩාකාරී තත්ත්වයක් දරුවන් වටා නිර්මාණය වී හමාරය. කොටින්ම කියතොත් බොහෝ දරුවන් තමාගේ වයසට නොගැළපෙන ඉතා දියුණු නවීන තාක්ෂණික මෙවලම්වල වහලකු වී හමාරය. එනමුත් මෙකී තත්ත්වය ළමා මනසට කොතෙක් දුරට උචිත ද යන්න සිතා බැලීමට දැන් කාලය එළඹ ඇත.
වර්තමානයට සාපේක්ෂව අප කුඩා කල ගම නාගරීකරණය වී නොතිබූ නිසාවෙන් ද සාපේක්ෂව ජනාකීර්ණ වී නොතිබූ නිසාවෙන් ද පාසල් ගොස් පැමිණි පසු සිත් සේ කෙලිදෙලෙන් ගත කිරීමට ඉඩකඩ ඕනෑ තරම් තිබුණි. විශේෂයෙන්ම වෙල් එළියේ දුව පැන ඇවිදිමින් ක්‍රීඩා කළ හැටි, සරුංගල් යැවූ හැටි, මාළුන්ට බත් ඇට දැමූ හැටි, තරගෙට බයිසිකල් පැද්ද හැටි අදටත් සිහි වේ. එපමණක් නොව ලඳු කැලෑ පීරමින් දං, බෝවිටියා, වෙරළු, කජු පුහුලම් ආදිය සෙවූ අතීතයක් අපට තිබුණි. නමුත් වර්තමානයේ එවන් වටපිටාවක් ගම්බද දරුවන්ට විනා නගරබද දරුවන්ට නැත. කෙසේ නමුත් දිනපතා විවිධ වූ ක්‍රීඩාවන්හි යෙදීම තුළින් ශරීරයට අවශ්‍ය වූ ව්‍යායෑම් අප කුඩා කල දරුවන්ට නම් නිරතුරු ලැබුණි. එනිසා වර්තමානයේ දරුවන් වෙතින් අසන්නට ලැබෙන දියවැඩියාව, අධික රුධිර පීඩනය, අධික ස්ථූලතාව, කොලෙස්ටරෝල් වැඩිකම ආදිය අසන්නට නොලැබුණි. එකල දරුවන් ඉතාම ක්‍රියාශීලිය. ඔතෑනි නැත. පුංචි ක්‍රියාකාරකමක් සිදුකර අද දරුවන් මෙන් මන්දෝත්සාහීව හති හැලුවේ නැත. අතරමග වැඩේ අතහැර දැමුවේ නැත.
අප කුඩා කල කොතෙක් පාඩම් වැඩ තිබුණ ද නිවසේ එදිනෙදා බොහෝ කටයුතුවලින් කර ඇරියේ නැත. සති අන්ත නිවාඩුව හෝ වෙනත් විශේෂ නිවාඩුවක් ලැබුණු විගස ගෙවත්ත අතුගෑම, ගේ දොර අතුගෑම අප කළ වාර අනන්තය. ගෙවත්ත උදලු ගා පිරිසිදු කර අලංකාරව මල් පාත්ති සැකසුවා අද වගේ මතකය. එසේම ගෙවත්තේ කෙසෙල් ආදී කොට ඇති නොයෙක් පලතුරු ගස් සිටවූ සැටි ද ඒවාට උදේ සවස වතුර දැමූ හැටි ද සිහිවේ. මේ සියලු කටයුතු සිදුකරන අතරතුර මුළුතැන්ගෙයි වැඩවලට අම්මාට සහය වීමටත් ඉරිදාට නොවරදවා දහම් පාසල් යෑමටත් අපට වේලාව හොඳ හැටි තිබුණි. එසේ කියා අප අපගේ පාඩම් කටයුතු කිසිවිටක අතපසු කළේ ද නැත. පාසලේ හැම වසරකදීම සෑම විෂයකටම හොඳ ලකුණු හිමිකර ගනිමින් පන්තියේ වැඩිම දක්ෂයන් පස් හය දෙනා අතරට එක් වීමට ද අපට හැකි විය.
එය එසේ මුත් වර්තමානයේ බොහෝ දරුවන්ට අපට තිබූ විවේකය, නිරවුල් මනස, උත්තේජනයට ප්‍රතිචාර දක්වන සංවේදිගතිය නැත. ස්වභාවයෙන්ම එකල දරුවන්ට සාපෙක්‍ෂව දැන් දරුවන් නපුරුය. දරුණුය. කතාව තුළින් විවෘතව අදහස් ප්‍රකාශ කිරීම කටපුරා අව්‍යාජව සිනාසීම ඉතාම අඩුය. ප්‍රීතියෙන් කෙලිදෙලෙන් කෑ කෝ ගසමින් ක්‍රීඩා කිරීම දකින්නට නොමැත. කොටින්ම කියතොත් වාහනයක හඬට සංවේදි බව පවා දරුවන් තුළින් ගිලිහෙමින් පවතී. දැන් දැන් බොහෝ දරුවන්ට තමන් දන්නා හඳුනන කෙනෙක් දුටුව ද සිනහවක් මුවඟට නොනැඟේ. නොදුටුවා සේ සිටී. හඬනගා කතා කළ ද නෑසුනා සේ සිටී. ඒ අය විකෘති මානසිකව ඒ අයගේ ලෝකවල හුදෙකලාව ජීයත් වන සෙයක් පෙනේ. බොහෝවිට වැඩිහිටියන් වන අපට දැනෙන දකින ඇසෙන දේවල් පවා ඒ අය නොදනී. නොදකී. නොඅසයි. මෙය ඉතාම භයානක තත්ත්වයකි.
පෙරදී සඳහන් කළ සේම වර්තමානය වනවිට නවීන විද්‍යාව හා නවීන තාක්ෂණය මිනිසා අධික්‍රමණය කරමින් සිටී. එකී තත්ත්වය කරණකොට ගෙනම වත්මන් ළමා මෙන්ම නව යොවුන් තරුණ පරපුර ඒ අයටත් නොදැනීම නව තාක්ෂණයේ අනිටු ඵල භුක්තිවිඳින සෙයක් පෙනේ. මෙහිදී විශේෂයෙන් ළමා මනසට අහිතකර පරිගණක ක්‍රීඩා, සංගීත වැඩසටහන් හා නොයෙක් ඒ හා සබැඳි ක්‍රියාකාරකම් මත ළමයින් හුදෙකලා වී මනස කර්කෂ වී ඇත. මෙහිදී කැපී පෙනෙන ලෙස වෛරය, පළිගැනීම, ද්වේෂය, ඉරිසියාව, ගහමරා ගැනීම් ආදිය ඉස්මතු වී ඇත. දෙමාපියන් සහෝදර සහෝදරියන් අසල්වාසීන් දන්න හඳුනන හිතවතුන් නුරුස්සන තැනට පත්ව ඇත. නිරාමිස ප්‍රීතිය කෙසේ වෙතත් සාමිස ප්‍රීතිය පවා තරුණ මෙන්ම ළමා පරපුර වෙතින් බොහෝදුරට ගිලිහී හමාරය. විශේෂයෙන් යමක රසඥතාවය විඳීම නම් සහමුලින්ම වාගේ නැතිවී ඇති වන කනගාටුවෙන් මුත් අවධාරණය කළ යුතුව ඇත.
මෙකී තත්ත්ව දිනෙන් දින වර්ධනය වීමට බලපෑ හේතු සාධක බොහෝය. ඒ අතර බොහෝ දරුවන්ට නිසි වයසට කලින් ඇඳුම් ආයිත්තම්, යාන වාහන හිමිවීම නිසාවෙන් ද මිල මුදල් අත ගැවසීම නිසාවෙන් ද අන්තර්ජාලයේ එසේත් නැත්නම් ජංගම දුරකථනයේ වහලුන් වීම නිසාවෙන් ද උක්ත තත්ත්ව නිර්මාණය වන සෙයක් පෙනේ. බොහෝ දරුවන් මෙකී නව තාක්ෂණික මෙවලම් හා ක්‍රියාකාරකම්වලට ඇබ්බැහි වීම නිසාවෙන් නිහඬ වී හුදෙකලා වී එක්තරා ආකාරයක මානසික රෝගීන් බවට පත්වී හමාරය. මෙය මා ප්‍රායෝගිකව අනේක වර මා ජීවත්වන ප්‍රදේශයේ දැක ඇති අති ශෝචනීය තත්ත්වයකි. වේගවත් සමාජ ආර්ථික රටාවකට කොටු වී සිටින දෙමාපිය වැඩිහිටියන්ට මේවා සොයා බැලීමට වේලාවක් නැත. යම් ලෙසකින් එකී තත්ත්ව දුටුව ද ඒ එයාගේ හැටි, එයා පොඩි කාලෙ ඉඳන් ඔහොම තමයි ඕවා ලොකු වෙලා තේරෙන කොට හරියාවි, ඔය අපලයක්නේ, තරුණ වයසට ඔහොම තමයි ලෙස සාධාරණීකරණය කරනු මා දැක ඇති වාර අනන්තය. ඔවුන් එසේ දැන හෝ නොදැන සාධාරණීකරණය කරන්නේ ඇතැම් මානසික රෝගවල ප්‍රාථමික අවස්ථාව බව ඔවුන් නොදනී. එනිසා දෙමාපියන් වැඩිහිටියන් ලෙස මේ පිළිබඳ දෙවරක් සිතා බැලීම කාලෝචිතය.
අප කුඩා කල අපෙන් වැඩිහිටියෙක් යමක් විමසූ විට පිළිතුරු දුන් ආකාරයට වඩා වර්තමාන දරුවන් පිළිතුරු දෙන ආකාරය හරිම අශෝභනය. අසන ප්‍රශ්න වුවද වයසට තරම් නොවේ. බොහෝ වැඩිහිටියන් විශේෂයෙන්ම දෙමාපියන් මේවා දඟකාරකම් එසේත් නැත්නම් හුරතල් ලෙස සාධාරණීකරණය කිරීම කාගේ අවාසනාවක් ද යන්න සිතා බැලීම වටී. කොටින්ම කියහොත් තමාට වඩා අවුරුදු හත අටක් වැඩිමහල් අයට ආමන්ත්‍රණය කරන්නේ නැන්දා මාමා කියාය. අයියා අක්කා ලෙස ආමන්ත්‍රණය කළ යුතු අයකුට නැන්දා මාමා ලෙස ආමන්ත්‍රණය කිරීමෙන් මාමා නැන්දා ලෙස ආමන්ත්‍රණය කළ යුතු අයකුට ආච්චී සීයා ලෙස ආමන්ත්‍රණය කිරීමත් කවර ආකාර විකෘති මානසික තත්ත්වයක් ද එසේත් නැත්නම් මානසික රෝගයක මුල් අවස්ථාව ද යන්න සොයා බැලිය යුතුය. වැඩිහිටියන් දෙමාපියන් මේවා නොදුටුවා නෑසුනා සේ කිසිදු වග විභාගයකින් තොරව සිටීම ඔවුන්ගේම අවසනාවය.
අප කුඩා කල අනේක විධ වැරදි කර අම්මාගෙන් අප්පච්චීගෙන් කෝටු පාර කෑ වාර අනන්තය. පොඩි තුවාලයටත් බෙහෙත් දමනවිට කඳුළු පෙරාගෙන හූ තබමින් හැඬූ වාර ඒමටය. එහෙත් අරුමය නම් මේ කිසිත් අද ළමා පරපුරේ සුලභව අසන්නටවත් දකින්නටවත් නොලැබීමයි. අප කුඩා කල අපේ වැඩ අපම කරගත්තේ ඉඳහිට කලාතුරකිනි. අම්මා අප්පච්චී අපේ වැඩවලට සහය වූ වාර අනන්තය. නමුත් වර්තමානයේ දරුවන් තමන්ගේ වැඩ තමන්ම කර ගැනීමට යෑම තුළ දරුවන්ගේ මනස දැඩි වී ව්‍යාකූල වී දරුවන් අසරණව හුදෙකලා වී ඇත. මෙකී තත්ත්වය පසුකාලීනව දෙමාපියන් නොසලකා හැරීම, මහලු මඩම්වලට වැඩිහිටි නිවාසවලට දෙමාපියන් යොමුකිරීම වැනි කනගාටුදායක තත්ත්ව නිර්මාණයට තුඩු දී ඇතැයි සිතිය හැක. කෙසේ නමුත් දරුවන් කෙදිනක හෝ තරුණ තරුණියන් වැඩිහිටියන් ලෙස සමාජගත විය යුත්තේ උගතුන් බුද්ධිමතුන් ලෙස පමණක් නොව කරුණාව දයාව පිරි හොඳ හික්මීමක් ඇති ආගම දහමට ගරු කරන ගුණ යහපතුන් ලෙසය. එය එසේ නොවීම සමාජීය මෙන්ම සංස්කෘතික පරිහානියට අත වැනීමකි.
අප කුඩා කල හවසට අපිම වවාගත් හෙන්දිරික්කා, අරලිය, කූඩලු වැනි මල් නෙළා අලංකාර මල් වට්ටි සකසා හවසට බුදු පහන තැබීමත් ශාස්ත්‍රයට අධිපති සරස්වතී දේවියට මෙන්ම නුවණට අධිපති ගණ දෙවිඳුන්ට පහන් දැල්වීමත් සිදු වුණි. ඉන් ඉක්බිති දෙමාපියන් නැමදීම සිදුවුණු අතර පාඩම් වැඩ ඉන්පසු ඇරඹුණි. නමුත් වර්තමානයේ මෙකී ක්‍රියාකාරකම් දැකගත හැක්කේ ඉතා විරලව අහම්බෙනි. කෙසේ නමුත් මෙවැනි යහපත් සදාචාරවත් දේට දරුවන් කුඩා කල සිටම යොමු කිරීම, හොඳ නරක පහදාදීම දෙමාපියන් වැඩිහිටියන් සතු වගකීමකි. එවිට සුන්දර ළමා ලෝකය සුන්දර ලෙසම පවත්වාගත හැකි වේ. එය නිරෝගි, උගත්, බුද්ධිමත්, ක්‍රියාශීලි, ගුණ යහපත්, දක්ෂ දරු පරම්පරාවක් රටට දැයට දායාද වීමට හේතුය.
ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
දු. අංකය 071-9282653