නායක ඩෙලොන් පළමු තරගයෙන් ජය ගෙන එයි

238

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ජපාන සංචාරය

නායක ඩෙලොන් පීරිස්ගේ තුන් ඉරියව් දක්ෂතා මත ජපාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඊයේ (10 වැනිදා) පැවැති පළමු විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 5 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමත් විය.

එම ජයග්‍රහණයත් සමග තරග 5 කින් සමන්විත දෙරට අතර විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමත් විය.

තෝකියෝ නුවර සානෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනූ ජපාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 ට ලකුණු 97 ක් රැස් කරන ලදුව ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15.3 කදී කඩුලු 5 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.

එම ඉලක්කය හඹා යෑමේදී මුළු ලකුණු සංඛ්‍යාව 50 ක්ව තිබියදී කඩුලු 5 ක් දැවී ගියද 6 වැනි කඩුල්ලට එක් වුණු නායක ඩෙලෝන් පීරිස් නොදැවී ලකුණු 17 ක් සහ රන්මිත් ජයසේන නොදැවී 25 ක් ලබා ගනිමින් ලකුණු 48 ක නොබිඳුණු සම්බන්ධතාවයක් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

ජපාන ජාතික කණ්ඩායම වෙනුවෙන් ඊබ්‍රහිම් ටකහාෂි කඩුලු 3 ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව පීඩනයකට ලක් කළේය. එහෙත් 6 වැනි කඩුල්ලේ සම්බන්ධතාවත් සමඟශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් වද්දී ඉනිමේ තවත් පන්දු 27 ක ඉතිරිව තිබිණ.

ජපාන ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කරවීම වෙනුවෙන් පන්දු යැවීමෙන් කැපී පෙනුණු නායක ඩෙලෝන් පීරිස් පන්දුවාර 4 ක් යවා ලකුණු 21 කට කඩුලු 3 ක් දවාගත්තේය. ඔහුට අමතරව දනාල් හේමානන්ද, ලක්ෂාන් ගමගේ සහ සිතුම් දිසානායක කඩුල්ල බැගින් දවා ගත්හ.

ජපාන ජාතික කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු 97 යි – (කඩොවාකි ෆ්ලෙමිංග් 21, රියෝ සකුරානෝ 14, මාකස් තර්ගේට් 14, ඩෙලෝන් පීරිස් 21/3)

ශ්‍රී ලංකාව පන්දුවාර 15.3 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 98 යි – (රන්මිත් ජයසේන 25, ඩෙලෝන් පීරිස් 17, ඊබ්‍රහිම් තකහාෂි 17/3)

advertistmentadvertistment
advertistmentadvertistment