මිහිඳු මහ රහතන්වහන්සේ කළ මෙහෙය සදානුස්මරණීයයි -අස්ගිරි මහ නාහිමියෝ

44

සම්බුද්ධත්වයේ පහස ලද දඹදිව්තලයේ සිට මෙරටට සම්බුදු දහමේ පණිවිඩය රැගෙන වැඩම කළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට කළ ශාසනීය මෙහෙවර සදානුස්මරණීය යැයි සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහ නාහිමියෝ ප්‍රකාශ කරති.

පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව පවසති. එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් වෙයි.

ඈත අතීතයේ පටන් තම යුතුකම් ඉටුකිරීම සහ කලගුණ සැලකීම වැනි උතුම් ගුණ දහම්වලින් පිරි ශ්‍රී ලාංකික බෞද්ධ පින්වත්හු මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ පොසොන් පොහෝ දිනය අනුස්මරණය කිරීම සිරිතක් ලෙසින් පවත්වාගෙන එති. උන්වහන්සේගේ වැඩම කිරීමත් සමඟ අපේ රට තුළ බෞද්ධ ප්‍රතිපත්ති සහ ඇදහීම් ස්ථාපිත වූවා පමණක් නොව සම්මා සම්බුදු රජාණන් වහන්සේ තිලොව යහපත සඳහා දේශනා කළ ධර්මය ස්ථාපිත වන්නට ද විය. එදා මෙදා තුර වසර 2500 කට අධික කාලයක් අප ලොව පවතින උතුම්ම බෞද්ධ රාජ්‍යයක් ලෙස ලොව පතල විය.

මේ නිසාම පොසොන් පුන් පොහෝ දිනය බෞද්ධයන් වශයෙනුත් ශ්‍රී ලාංකිකයන් වශයෙනුත් අපට ඉතා වැදගත් දිනයකි. මෙම දිනය සැමරීම සඳහා රජරට ප්‍රධානකොට නොයෙකුත් සැරසිලි පෙරහැර මෙන්ම දාන, ශීල, භාවනා ආදි පුණ්‍ය කටයුතුවල යෙදෙන ලක්ෂ සංඛ්‍යාත පින්වත්තු පොසොන් පොහෝ දිනය උත්කර්ෂවත් ලෙස සමරති. පසුගිය වසර කිහිපයේ නොයෙකුත් අවාසනාවන්ත සිදුවීම් හා වසංගත රෝගකාරක තත්ත්වයන් හේතුකොට ගෙන පොසොන් උත්සවය සැමරීමට නොයෙකුත් බාධාවන් ඇතිවිය. නමුත් මේ වසරේ එවැනි බාධක දුරුවීම කාගේත් සතුටට කාරණාවකි.

සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සද්ධර්මය අනුව ප්‍රතිපත්ති පූජාවල නිරත වෙමින් යහපත් බෞද්ධයන් ලෙස පොසොන් උත්සවය සැමරීමට අපට කිසිදු බාධාවක් නැත. මේ අවස්ථාවේ දී බුදුන් වහන්සේගේ දර්ශනය අනුව අපගේ ඉදිරි ජීවන රටාවන් ප්‍රඥා සම්පන්නව සිතා බලා හැඩගැස්විය යුතු අතර ඒ පිළිබඳව අනාගත මිනිස් වර්ගයාට විශාල වගකීම් සම්භාරයක් පැවරෙනු ඇත. පරිසරය හා ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගනිමින් මිහිතලය අපට සපයනු දෙයින් සෑහෙනු විනා මනුෂ්‍ය අවශ්‍යතාවන් වෙනුවෙන් ස්වභාව ධර්මයට එරෙහි වීම සිදු නොකළ යුතුය.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment