ඉන්ධන ගෙන මුදල් නොදී පැන යන්නට හැදූ රුසියානු ජාතිකයා අල්ලයි

731

හබරාදූව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගෙන මුදල් නොදී පලා යෑමට තැත්කළ අවස්ථාවේ එහි සේවකයන් විසින් අල්ලා පොලිසියට භාරදීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරන ලද විදේශිකයකුට ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය රුපියල් හැටහත් දහසක දඩ නියම කළාය.

මෙසේ දඩ නියම වූයේ උණවටුන නිවසක තාවකාලිකව නතරව සිටින 45 හැවිරිදි රුසියානු ජාතිකයකුටය.

මෙම රුසියානු ජාතිකයා දින කිහිපයකට පෙර ඉන්ධන පිරවුම්හලට පැමිණ ඉන්ධන ලබාගෙන මුදල් නොදී පලාගොස් ඇති අතර පසුගිය 21 වැනි දිනද පැමිණ මෝටර් රථයට රුපියල් 3000ක ඉන්ධන ලබාගෙන මුදල් නොදී පලා යෑමට උත්සාහ කළ අවස්ථාවේ සේවකයන් විසින් අල්ලාගෙන පොලිසියට භාරදී ඇත.

පසුව පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී මෝටර් රථයේ පිටුපස අසුනේ තිබී ඔහු විසින්ම නිෂ්පාදනය කර ගන්නා ලද නීති විරෝධී මත්පැන් බෝතල් 17ක් ද සොයාගෙන ඇත. එයට අමතරව ඔහුට වාහන පැදිවීම සඳහා රියැදුරු බලපත්‍රයක් ද තිබී නැත.

පසුදින සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අතිරේක මහෙස්ත්‍රාත්වරිය බීමත්ව රිය පැදවීමේ චෝදනාවට රුපියල් 25000ක දඩයක්ද බලපත්‍රයක් නොමැතිව වාහන පැදවීමේ චෝදනාවට රුපියල් 25000ක දඩයක්ද නීති විරෝධී මත්පැන් බෝතල් 17ට රුපියල් 17000ක දඩයක් ද නියම කළාය.

මෙදින පැමිණිලිකාර ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු අධිකරණයට පැමිණ නොසිටි අතර ඔහුට සිතාසි නිකුත් කර වැඩිදුර නඩු විභාගය ජනවාරි 05 වැනි දිනට කල් තැබීමටද අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

හබරාදූව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර දුනුවිල මහතා සමග උප පොලිස් පරීක්ෂක විමල් මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.
අහංගම – සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment