හැටන් හෝටලයකට පැමිණි රුමේනියානු යුවළගේ රක්‍ෂණ මුදල් වංචාව අතේ පත්තු වෙයි

331

හැටන් ප්‍රදේශයේ ප්‍රධාන සංචාරක හෝටලයකට සංචාරක සේවා සමාගමක් හරහා පැමිණි රුමේනියානු ජාතික යුවළක් එරටින් රක්ෂණ මුදල් ලබා ගැනීමට කළ කුමන්ත්‍රණයක් හෙළි කරගැනීමට එම සංචාරක හෝටලයේ පාලනාධිකාරිය සහ දිඹුල පතන පොලිසිය සමත්ව ඇත.

දින 08 ක සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇති රුමේනියානු ජාතික යුවළ 24 -25 දෙදින එම හෝටලයේ නවාතැන් ගෙන අද (26දා) මහනුවර ප්‍රදේශයේ සංචාරයක් සඳහා පිටත්ව යෑමට සිටි බව එම සංචාරක හෝටලයේ පාලන අධිකාරියේ නිලධාරියෙක් කියා සිටියේය.

දෙස් විදෙස් සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණයක් දිනාගෙන ඇති එම සංචාරක හෝටලයට 24 වැනිදා පැමිණි එම යුවළ හෝටලයේ මිල අධික කාමරයක් වෙන් කරවා ගෙන ඇති අතර එදිනම රාත්‍රියේ රුමේනියානු ජාතික 35 හැවිරිදි කාන්තාව සම්බාහනයක් ලබාගැනීමට අවශ්‍ය බව පවසා ඇත. එහිදී හෝටලයේ පාලනාධිකාරිය විසින් ඇයට එම හෝටලයේ සම්බාහන අංශයේ සේවය කරන කාන්තාවකගේ සේවය ලබාදී ඇත. මෙහිදී කාන්තාව හෝටලයේ පාලනාධිකාරියට පවසා ඇත්තේ තමන්ට අවශ්‍ය පිරිමි පුද්ගලයකුගේ සේවාවක් බවයි.

ඇයගේ ඉල්ලීම අනුව සම්බාහන අංශයේ සේවකයකු සේවාව ලබාදීමෙන් අනතුරුව එම කාන්තාව සම්බාහන අංශයෙන් පිටතට පැමිණ ස්නානය කර මඳ වේලාවකින් පසු හෝටලයේ මානව සම්පත් කළමනාකරණ ඒකකය වෙත පැමිණ සම්බාහන සේවය ලබාදීමට පැමිණි පුද්ගලයා තමන්ට අතවර කිරීමට තැත් කළ බව පැවසීමෙන් පසු එම හෝටලයේ පාලන අධිකාරිය විසින් ඒ පිළිබඳව දිඹුල පතන පොලිසියට දැනුම් දී ඇත.

පාලනාධිකාරියේ දැනුම් දීමෙන් හෝටලයට පැමිණි පොලිස් නිලධාරීන් අතවරයට ලක් වූවේ යැයි කියන රුමේනියානු ජාතික කාන්තාවගෙන් පැමිණිල්ල සටහන්

කරගැනීමට යෑමේදී ඇය මේ සඳහා පැමිණිල්ලක් අවශ්‍ය නොවන බවත්, එරටින් රක්ෂණ මුදල් සහ මෙරටට පැමිණි ගුවන් ටිකට්පත්වල මුදල් ලබාගැනීම සඳහා මෙරට නීතිඥවරයකුගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ලිඛිතව ලිපියක් සහතික කරදෙන ලෙසත් ඉල්ලා ඇත.

තවද තමන් හෝටලයෙන් පිටව යනතෙක් කිසිදු මුදලක් අය නොකරන ලෙසට හෝටලයේ පාලන අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇත. එම ඉල්ලීම සහ නීතිඥයවරයකුගේ ලිපියක් ලබාදීම හෝටල් පාලන අධිකාරිය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර හෝටල් පාලන අධිකාරිය මගින් රුමේනියානු ජාතික යුවළ වෙත අවධාරණය කර ඇත්තේ එවැනි සිද්ධියක් සිදු වී ඇත්නම් ඒ සඳහා මෙරට අනුගමනය කළ යුතු ප්‍රධාන කාර්යය වන්නේ පොලිසියට පැමිණිලි කිරීම බවයි. සිද්ධිය සම්බන්ධයෙන් හෝටල් පාලන අධිකාරිය මගින් එම රුමේනියානු ජාතික යුවළ හෝටලය වෙත යොමු කර තිබු සංචාරක සේවා ආයතනයට දැනුම් දුන් බව එම සංචාරක හෝටලයේ උසස් නිලධාරියෙක් කියා සිටියේය.
නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment