අකල් හි සදහටම පරව ගිය කමල් නම් සුවඳවත් නිල්කමල

103

කමල් නම් නිල්කමල සදහටම පරවගොස් ඇති බව ඇත්තටම අදටත් මට විශ්වාස කළ නොහැකි ය.

අප යළි කිසිදා හමු නොවන බව හිතාගන්නට මම තාමත් අසමත් වෙමි.

මට එහෙම දෙයක් සිදුවී ඇති බව මතක් වන්නේ, මා හා කතා කරන කිසිවකු ඒ සිද්ධිය එසේ සිදුවූ බව යළි කී විට ය.

මේ මොහොතේ නම්, ඒ නිල්කමල් මිළිනයට දැන් හරියටම වසරක් සම්පූර්ණ වෙමින් යන බව වෙසෙසින් දැනුම්දුන් විට ය.

මා මේ කියන කාරණය ඔබට තේරුම් නොයෑමට, ඊටත් වඩා සංවේදනාවක් ලෙස ඔබට අනන්‍ය නොවීමට හොඳටම ඉඩ තිබේ. මන්ද යත්, ඔබ ජීවත් වන්නේ කමල් නම් නිල්කමල පිපී සැලුනු, සුවඳ විහිදවූ, අහල පහළ තවත් කුසුම්, මල් සමුදා සමග යාළු – මිතුරු – විරසක -ගුණ – නුගුණ කතා වැල් පැටලුණු අඩවියක බැවිනි. ඔබට කමල් නැති අඩුව පසුගිය වසර පුරා වරින් වර හෝ දැනෙන්නට ඇත. ඒ පෙර දවසක ඔබ සිටි පුළුල් සිත්තමේ කමල්ගේ තැන හිස්ව තිබෙනු දුටු විට ය. ඊයේ ඔබ සිටි මාධ්‍ය වැඩමුළුවේ, සාකච්ඡාවේ, සටන් බිමේ, බස්සෙකේ, කෝච්චියේ, තේ කඩයේ, මදුහලේ ඔහු තවදුරටත් නැති බව, ඔහු අත්පත් කරගෙන හිටි තැන හිස්ව ගොස් බව ඔබට පසක්වූ විට ය.

සමහරුන් විසින් ඉතිරිකර යන හිස්තැන බොහෝ කල් හිස්තැනක් ලෙස පවතින්නේ නැත. එහෙත් කමල් වැන්නන් ඉතිරිකර යන හිස්තැන කාටවත් එහෙම ලේසියෙන් පුරවන්නට බැරි බැවින් ඔබට ඒ හිස්කම ඊයේත් දැනෙන්නට ඇත.

එහෙත් 14 වසරක් පුරා බලහත්කාර විප්‍රවාසයකට බැඳ දමා සිටින මට, කමල් තවදුරටත් මේ භෞතික ලෝකයේ අප අතර නොසරන්නේ ය යන්න, ඔබට දැනෙන විදියට දැනෙන්නේ නැත. ඒ වෙනුවට මගේ යටිහිත කියන්නේ කවදා හෝ මා ආපසු ලංකාවට ආ විට කමල් මට හමුවන බව ය. හරියට විප්‍රවාසයෙන් වසර අටකට පසු, එනම් 2017 දී මාගේ පියාණන්ගේ අවමඟුල වෙනුවෙන් සොරකු මෙන් රහසින් පැමිණි වේලේ සුපුරුදු සහෝදරත්වයෙන් හමුවූවාක් මෙන් කිසියම් දවසක යළි හමුවන බව ය.

‘එහෙත් කමල් අප අතරින් වෙන්වී දැන් වසරක් ගතවී ඇති බව’ කියන පණිවිඩ මා කකුල්කෙටියෙන් අල්ලා මා ඉන්නා හිස් සිත්තම ඉදිරියේම පොළොවේ ගසයි.

කමල්ගේ වියෝගය දැනගත් අවස්ථාවේ මම මුහුණු පොතේ සටහනක මෙසේ ලීවෙමි.

“කමල් ලියනාරච්චි යනු මට හුදෙක් මිතුරෙක් ම නොවේ.

ඔහු මට සහෝදරයෙකි.

විශ්වාසදායී, කල්පනාකාරී, එඩිතර සටන් සගයෙකි.

බිහිසුණු ම, දුෂ්කර ම කාලවලදීත් ජීවිතය කියා පණගැහෙන දෙයක් ඇති බව, ඊට අරුත් ලැබෙන්නේ සාමූහිකත්වයෙන් බව වදනින් නොව ක්‍රියාවෙන් කියා පෑ එක රෑනේ කුරුල්ලෙකි.

කාලාන්තරයක් තිස්සේ භූත-පිසාච-සොල්මන්-අවතාර විසින් අල්ලාගෙන සිටි පාළු අම්බලමක් ව තිබූ වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමය ඒ මළසොහොන් ආත්මයෙන් මුදවා සජීවී, ක්‍රියාශීලී, සටන්කාමී තැනක් කිරීමට දියත්වුණු සටනේ කමල් එක් ප්‍රබල සෙන්පතියෙකි.

ජනමාධ්‍ය මර්දනයට එරෙහිව ඇවිළුණු අතිශය අමාරු සටන්වල ඔහු නොපසුබැස සටන්වැදී පෙරමුණු සටන් සගයෙකි.

ජනමාධ්‍ය නිදහස සේම ජනමාධ්‍යයේ වගකීම හා ආචාර ධාර්මිකත්වය ගැන ද තුලනාත්මකව සිතා බලන තියුණු විචාරශීලියෙක් ඔහු තුළ සිටියේ ය. පසුගිය දශකයකට මඳක් වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ඔස්සේ ඒ විචාරශීලියා හැසිරුණු ආකාරය දුරක සිටින අපට වඩා හොඳින් කියන්නට දන්නෝ කොතෙකුත් ඔබ අතර වෙති. ඔව්, කමල්ගේ වියෝවෙන් පසු බොහෝ දෙනෙක් කී පරිදි, කමල් විශාල මිනිහෙකි.

ඇඟපතින් ඔහු විශාල ය.

ඒ වගේම අදහස්වලින් ද විශාල ය.

ඒ දෙකටම වඩා වැදගත් දේ නම් ඔහු හදවතින් විශාල මිනිසෙක් වීම යි.

කමල් කිසිවකු හා ගැටුම් ඇතිකර නොගත් බව ද, ඔහුට කිසිවකු හා බරපතළ අමනාපකම් නොතිබූ බව ද, පසුගිය වසර පුරා නිතර කියැවී තිබිණි. එය සැබෑවකි.

අප කණ්ඩායම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නායකත්වය දරමින් සිටියේ ලංකාවේ මෑත ඉතිහාසයේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් ගත්කල එක් අන්ධකාර ම කාල වකවානුවක් වූ 2005 – 2009 කාලයේ ය. ඒ වකවානුවේ භයංකරත්වය ගැන එකම එක දත්තයක් හා එකම එක සාක්කියක් නිදර්ශන කොට දෙන්නේ නම්: දිවයින පුරා මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන් 40කට අධික සංඛ්‍යාවක් ඝාතනයට හෝ අතුරුදන් කිරීමට ලක්වූයේ මේ කාලවකවානුවේදී ය යන්න ඒ දත්තය යි.

සාක්කිය මෙය යි. ඒ 2006 මැයි 02 වැනිදා ය. ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය හෙවත් උදරකා ඡරුි ත්‍රුැාදප ෘ්හ ඒ වසරේ පැවැත්වීමට යුනෙස්කෝව විසින් තෝරාගනු ලැබුවේ ශ්‍රී ලංකාවයි. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවිධායකත්වය සහිතව කොළඹ මහ හෝටලයක දෙස් විදෙස් මාධ්‍යවේදීන්ගේ, රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ද සහභාගිත්වයෙන් උළෙල පැවැත්වෙමින් තිබූ අතර, ඒ වසරේ ලෝක මාධ්‍ය නිදහස් ත්‍යාගයට හිමිකම් කී ලෙබනන් රූපවාහිනි ජනමාධ්‍යවේදිනියක වූ මේ ෂිඩියැක් (ඵ්හ ක්‍යසාස්ජ) ද සිය සම්මානය ලැබීමේ බලාපොරොත්තුවෙන් උත්සව සභාවේ සිටියාය. මේ ‘නිදහස් ජනමාධ්‍ය දින’ උත්සවයක් අතරතුර යාපනයේ උදයන් පුවත්පත් කාර්යාලයට කඩාවැදුණු ආණ්ඩුවේ පිහිටාධාර හා අනුබල ලැබූ මැර අතුරු හමුදා කල්ලියක් එහි මාධ්‍ය සේවකයන් දෙදෙනෙක් ඝාතනය කරමින් මාධ්‍ය නිදහස සැමරූහ!

තීරණාත්මක, අවදානම්සහගත හා සංධිස්ථානීය තීන්දු තීරණ ගැනීමේ දී අප නිරන්තරයෙන් අදහස් විමසන්නට කතා කළ පුද්ගලයන් අතරින් ප්‍රමුඛතමයකු වූයේ කමල් ය.

ඕනෑම බැරෑරුම්, අවදානම් සහගත හා තීරණාත්මක අවස්ථාවක් අරබයා කමල් සතුව ඔහුගේම ස්වාධීන වූ ද වගකීම්සහගත වූද දැක්මක් විය. ඔහු යම් ගැටලුවක් දෙස බැලුවේ තනිකර ආවේගයෙන් ද නොවේ. සංවේදනාවන් මුළුමනින් මිරිකා හල දරදඬු න්‍යායාත්මක කෝණයකින් ද නොවේ. ඔහුට ඒ හැම දෙයක් ගැනම ඔහුගේ ම පෞද්ගලික ස්ථාවරයක් හා අදහසක් විය.

ඒ අදහස, ස්ථාවරය ඕපපාතිකව පැනනැඟුණක් නොව, නව යෞවනයේ සිට ම කරන ලද වාමාංශික දේශපාලනයෙන් පන්නරය ලැබූ ඒවා විය.

කමල්ගේ අකල් වියෝව සිදුවූ අවස්ථාවේ මා ලියූ සටහනේ අවසන් භාගයට මෙවැන්නක් මා’තින් ලියැවිණි.

“මගේ මව්බිමේ සිටිනා තවත් බොහෝ දෙනකුට මා යළි හමු නොවන්නට ඉඩ ඇති බව ද, මට යළි ඔවුන් දකින්නට නොලැබෙනු ඇති බව ද, මහත්වූ වේදනාවෙන් මුත්, මම දැන් කලෙක සිට පසක්කරගෙන සිටිමි.

ඒ සියල්ල හුදු ඊනියා ඉරණම්සහගත ආත්මීය විලාප නොව, විසකුරු දේශපාලන කාරණා විසින් නිර්ණය කරන ලද මනුෂ්‍ය අභිලාෂයන්ට එරෙහි දුෂ්ට ගොඩනැංවීම් බව ද, උත්තුංග මනුස්ස අභිලාෂයන් සුපුෂ්පිත වන්නේ ඒ විසකුරු ගොඩනැංවීම් පරාජය කිරීමෙන් පමණක් බව ද, මා මෙහි අමුතුවෙන් කියන්නට ඇවැසි නැත.

කමල්ලා – අපි ගැන සාමූහික මතකයක් ඇති සියල්ලෝ ඒ ගැන දන්නාහු ය.”

කමල් සහෝදරයා, අප ඉක්මනින්ම නැවත හමුවනු ඇත!

advertistmentadvertistment
advertistmentadvertistment