අරගලකරුවන්ගේ පෙත්සම්වලට නීතිපතිගෙන් විරෝධතා

254

පසුගිය වසරේ මාර්තු 31 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසට පිවිසෙන මාර්ගයේ අවහිර කළේ යැයි චෝදනා කරමින් සාමකාමීව විරෝධතාවක නිරතව සිටි තමන් අත්අඩංගුවට ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට නිගමනය කරන ලෙස ඉල්ලා අරගලකරුවන් පිරිසක් ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා ඊයේ (09දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

පෙත්සම්කරුවන් එම පෙත්සම් ගොනු කර ඇත්තේ එවැනි පෙත්සම් ගොනු කළ හැකි කාලය ඉක්මයෑමෙන් අනතුරුව හා සත්‍ය කරුණු වසං කොට වන්නේ යැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ ශමින්ද්‍ර වික්‍රම මහතා අධිකරණයට පැවැසීය.

එකී විරෝධතා ලබන ජූලි 17 වැනි දිනට පෙර ලිඛිතව අධිකරණය හමුවේ ගොනු කිරීමට නීතිපතිවරයාට අවසර ලබාදුන් විජිත් මලල්ගොඩ, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඬුල්ල එම පෙත්සම් ලබන ජූලි 17 වැනිදා යළි කැඳවීමට නියම කළහ.

සාමකාමීව විරෝධතාවයක නිරතව සිටි විරෝධතාකරුවන් අතරට, බාහිර පාර්ශ්ව එක්කොට ඔවුන් ලවා මාර්ගයේ ගමන් කළ යාන වාහන ඇතුළු පොදු දේපළවලට අලාභ හානි සිදුකර අරගලකරුවන් සමග ගැටුම් ඇතිකිරීමට කිසියම් පාර්ශ්වයක් පියවර ගත් බවත් තෙවන පාර්ශ්වයක අයුතු මැදිහත්වීම් නිසා නිදහසේ රැස්වීමට හා අදහස් දැක්වීමට තමන් ඇතුළු උද්ඝෝෂකයන්ට තිබූ අයිතිය උල්ලංඝනය වූ බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් අධිකරණයට කියා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment