අල්ලස් කොමිසමට රනිල් කී කරුණු පිළිගන්න බැහැ – කොමිසම මහෙස්ත්‍රාත් අධිකරණයට කියයි

27

චාමරගේ ඇප අවලංගු කර රක්‍ෂිත බන්ධනාගාරගත කරන්නැයි කොමිසම කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්‍ෂේප කරයි

අල්ලස් කොමිසම මගින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පනවා ඇති නඩුවේ විමර්ශනවලට බාධා වන අයුරින් සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කටයුතු කරන බවත්, එබැවින් ඔහුගේ ඇප අවලංගු කර රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවේ ඊයේ (16දා) කළ ඉල්ලීම මහෙස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්‍ෂේප කරන ලදී.

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණුවලින් සැකකරුගේ ඇප අවලංගු කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවන බැවින් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරන බව මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ දී පැවැසුවාය.

අල්ලස් කොමිසම විසින් හිටපු ඇමැති චාමර සම්පත් දසනායකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ඊයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ඉදිරියේ මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමැති චාමර සම්පත් දසනායක ද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරු ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුමක මුදල් කල්පිරීමට පෙර ඉවත් කර ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 176 කට අධික පාඩුවක් සිදුකර ඇතැයි සඳහන් කරමින් මෙම නඩුකරය ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළාය. ඉන් පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මේ ආකාරයෙන් පළාත් සභාවල පවතින ස්ථාවර තැන්පතු කල්පිරීමට පෙර ඉවත් කර ගැනීම සඳහා 2015 වසරේ තමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ භාණ්ඩාගාරය මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබූ බවත් එම චක්‍රලේඛයට අනුව චාමර සම්පත් දසනායක විසින් කළ ක්‍රියාවක් නීතිවිරෝධී එකක් නොවන බවත් සඳහන් කර තිබුණත් අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබුණේ 2016 වසරේ නොවැම්බර් මස 22 වැනිදා වුවද චාමර සම්පත් දසනායක විසින් අදාළ මුදල් ඉවත් කර ගැනීම සිදුකර තිබුණේ 2016 වසරේ පෙබරවාරි මස 29 වැනිදා බවත් එම සාක්‍ෂිකාරිය කීවාය. ඒ අනුව සැකකාර චාමර සම්පත් විසින් අදාළ මුදල් ඉවත් කර ගන්නා අවස්ථාව වන විට රනිල් වික්‍රමසිංහ සඳහන් කරන ආකාරයේ චක්‍රලේඛයක් නොතිබූ බවත් එම නිලධාරිනිය පැවැසුවාය. මෙම කරුණට අදාළව අල්ලස් කොමිසම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැඳවා ප්‍රකාශයක් සටහන් කරගත් බවත් එහිදී වික්‍රමසිංහ මහතා අදාළ චක්‍රලේඛය නිකුත් කළ දින වකවානු පිළිබඳව දැනුවත් වීමකින් තොරව මාධ්‍ය වෙත මෙම ප්‍රකාශය සිදුකර ඇති බවට කරුණු අනාවරණය වූ බවත් එම නිලධාරිනිය සඳහන් කළාය. මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදු කරන නිලධාරියා අධිකරණයට සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සිදුකළ මෙම ක්‍රියාව තුළින් අල්ලස් කොමිසමේ විමර්ශන කටයුතුවලට බලපෑම් සිදුවී ඇති බවයි.

සැකකාර චාමර සම්පත් මහතාගේ බිරිඳගේ ඉල්ලීම මත මෙම මාධ්‍ය සාකච්ඡාව තමා පැවැත්වූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇති බවත් ඒ අනුව සැකකාර චාමර සම්පත් දසනායක විමර්ශනවලට බාධා කිරීමක් සිදුකරන බැවින් ඔහුගේ ඇප අවලංගු කොට රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඇය ඉල්ලා සිටියාය. නමුත් මහෙස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළාය. මෙම චෝදනාව යටතේ චාමර සම්පත් මහතාට කොළඹ මෙම අධිකරණයෙන් මින් පෙර ඇප හිමිවී තිබිණි. නමුත් වෙනත් චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මේ වනවිටත් රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment