අල්ලාගත් ජංගම දුරකථනය ඔස්සේ හේනානිගල මස් ජාවාරම වටලන්න ගිය අඩවි ආරක්ෂකට ආදිවාසී ප්‍රහාරයක්

197

විමර්ශනයකින් අනතුරුව මස් ජාවාරමක් සිදුකළ පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ හේනානිගල පිවිසුම් කාර්යාලයේ අඩවි ආරක්ෂකවරයාට එම ජාවාරමට සම්බන්ධ යැයි සැකකරන ආදිවාසියකු පෙරේදා (05 දා) රාත්‍රියේ පහර දී ඇති බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය පවසයි.

මාදුරුඔය හේනානිගල වැව ප්‍රදේශයේ මෙම ජාවාරම්කරුවන් පිරිස මස් ජාවාරමක නිරත වෙමින් සිටියදී පලාගිය සැකකරුවන් සතුව තිබූ ජංගම දුරකථනයක්, දඩයම් කිරීමට යොදාගත් උපකරණ කිහිපයක්, හේනානිගල වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් ජංගම දුරකථන පණිවිඩ ඔස්සේ සැකකරුවන් ඇල්ලීමට යෑමේදී අඩවි ආරක්ෂකවරයා මෙම ප්‍රහාරයට ලක් වී ඇති බවද පොලිසිය සඳහන් කරයි.

අප මේ පිළිබඳව මාදුරුඔය හේනානිගල පිවිසුම් කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩබ්ලිව්. එම්. කුමාරසිරි විජයකෝන් මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ, මස් ජාවාරම්කරුවන් වැටලීමට ගිය මොහොතේදී මස් බෑගයක් හේනානිගල වැවට රාත්‍රී කාලයේදී දමා, සැකකරුවන් දෙදෙනකු පලාගිය බවයි. එහිදී ඔවුන් සතුව තිබූ ජංගම දුරකථනයක් ඇතුළු ජාවාරමට යොදාගත් උපකරණ කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇති අතර ජංගම දුරකථනය ඔස්සේ විමර්ශන සිදු කිරීමෙන් පසු පලාගිය සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී තමන්ට මෙම ප්‍රහාරය එල්ල වූ බවයි. පලාගිය සැකකරුවන් දෙදෙනා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිඅත්තකණ්ඩිය පොලිසිය සමග වනජීවී නිලධාරීන් ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව මාදුරුඔය හේනානිගල වනජීවි පිවිසුම් කාර්යාලයේ අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් මහතා පැවසීය.

මින්නේරිය – සුසිල් කරුණාතිලක


advertistmentadvertistment