අලුත් පනතට විරෝධය: දේශීය ආදායම්, රේගු, සුරාබදු දෙදින වර්ජනයකට!

1

දේශීය ආදායම්, ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කර පිහිටුවීමට යන ශ්‍රී ලංකා ආදායම් අධිකාරි පනතට විරෝධය පළ කරමින් ලබන ජූලි 04 සහ 05 දින වැඩවර්ජනයක නිරත වීමට රේගු, දේශීය ආදායම් සහ සුරාබදු වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත.

ආදායම් ඉලක්ක සපුරා ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ මෙම දෙපාර්තමේන්තු ත්‍රිත්වය අඩපණකොට ආයතනවල කාර්මික සාමය බිඳ දමා, අපේක්‍ෂිත බදු ආදායම් අනතුරේ හෙළමින් මෙම පනත ගෙන ඒමට උත්සාහ දරන බවත් මෙවැනි පනත් හරහා ආර්ථිකයටත් සමස්ත මහජනතාවටත් බලපෑම් ඇති කරන බවත් එ බැවින් එයට එරෙහිව මෙම දෙදින සංඛේත වැඩ වර්ජනය සිදු කරන බවත් ශ්‍රී ලංකා සුරාබදු නිලධාරින්ගේ සංගමයේ සම ලේකම් නිරෝෂන් ජයකොඩි මහතා පැවැසීය.

රජය මගින් මෙවැනි පනතක් සාකච්ඡාවකින් තොරව ඒකපාර්ශ්විකව ගෙන ඒමට උත්සාහ කරන බවත්, එයට එරෙහිව සිදු කරන වැඩවර්ජනය තුළින් ආර්ථිකයට යම් දුෂ්කරතාවයක් ඇති වුවහොත් එහි වගකීම මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් භාර ගතයුතු බවත් ඔහු කීය.

යෝජිත ශ්‍රී ලංකා ආදයම් අධිකාරිය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා යටතට පත්වන බවත් දේශීය ආදායම්, රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාත්‍යාංශය යටතේ සිටින නිලධාරීන් කිහිපදෙනකු යටතට වැටීම ඇතුළු ගැටලු රැසක් මේ හරහා නිර්මාණය වන බවත් ජයකොඩි මහතා කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment