පිටිගල, අමුගොඩ ප්‍රදේශයේ ඊයේ (17දා) පැවැත්වීමට නියමිතව තිබූ අවුරුදු උත්සවයක ග්‍රීස් ගහ සකස් කරමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවකු ඉන් ඇද වැටී බරපතළ තුවාල ලබා මරුමුවට පත්වී ඇතැයි පිටිගල පොලිසිය පවසයි.
පිටිගල, අමුගොඩ සිරිවිජයාරාම විහාරස්ථානය අසල ක්‍රීඩා පිටියේදී මෙම අවුරුදු උත්සවය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. එම අවස්ථාවේ මෙම අවාසනාවන්ත අනතුර සිදුවී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ පිටිගල, අමුගොඩ, දෙනියවත්ත පදිංචිව සිටි කාරියවසම් කනත්තගේ චේතක නිවන්දන නමැති සිසුවකු බවත්, ඔහු මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි අයකු බවත් පොලිසිය කියයි.
අඩි 40ක් පමණ උසැති මෙම ග්‍රීස් ගසෙන් ඇද වැටුණු පාසල් සිසුවා එහි සිටි අවුරුදු උත්සවයේ සංවිධායකයන් විසින් ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන ඇතත් ඒ වනවිටත් සිසුවා මියගොස් සිටි බව පොලිසිය පවසයි.
සිටුවා තිබුණු ග්‍රීස් ගහේ කොඩියක් සවිකිරීමට පෙරේදා රාත්‍රී 8.00ට පමණ මෙම සිසුවා ඉනිමග දිගේ ඉහළට නගිමින් සිටියදී මෙම ඉරණමට මුහුණපා ඇත. මියගිය දරුවා අවුරුදු උත්සවයේ සංවිධායක මඬුල්ලේ සාමාජිකයකු ද වේ.
සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (17 දා) ඇල්පිටිය මූලික රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබිණි.
මේ පිළිබඳව පිටිගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යොහාන් මධුසංඛ මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් අතුකෝරල (36341) ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ විල්සන් විජේසිංහ – නියාගම, චන්දන සමන්කුමාර – පැලවත්ත