මට ඕනෑ වුණේ නැටුම්වලින් ඉදිරියට යන්න

තිළිණ බොරලැස්ස අධ්‍යක්ෂණය කරනු ලබන ‘සිකුරු ඇවිත්’ ටෙලි නාට්‍යයේ ‘නෙහාරා’ ලෙසින් ඔබ හමුවට එන ඇය නිරූපිකාවක්. වෙළෙඳ දැන්වීම් නිරූපණ ශිල්පිනියක් වගේම ගීත රූප රචනාවලින් ද මේ දිනවල දකින්න ලැබෙනවා. නමින් යශෝධරා මානගේ වන ඇයත් සමග මෙවර මීවිත කතාබහක යෙදුණා.

අවුරුදු කුමරිය මගේ ගමන වෙනස් කළා - යශෝධරා මානගේ

‘සිකුරු ඇවිත්’ නෙහාරට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

මගේ පළමු ටෙලි නාට්‍යය. මම නෙහාරා කියන චරිතයට අතරමැදින් තමයි සම්බන්ධ වුණේ. මුලදී මම රඟපෑවේ නැති හින්දා අතරමැදදී ඒ චරිතයට සම්බන්ධ වෙන්න ගියාම මට ලොකු අභියෝගයක් වුණා. අනික මට තිබුණෙත් මානසික රෝගියකුගේ චරිතයක් නිරූපණය කරන්න. චරිතයේ ස්වභාවය අනුව හොඳ වගේම නරක ප්‍රතිචාරත් තිබුණා.

අවුරුදු කුමරිය මගේ ගමන වෙනස් කළා - යශෝධරා මානගේ

මේ ආරාධනය ලැබෙන්නෙ කොහොමද?

මේ ටෙලි නාට්‍යයේ මගේ අම්මාගේ චරිතය රඟපාන්නේ ජීවන්ති අක්කා. එයා හරහා තමයි මට මේ ආරාධනය ලැබෙන්නෙ. පස්සේ තිළිණ අයියා, ජානක අයියා එක්ක කතාබහ කරලා තමයි වැඩේට සම්බන්ධ වුණේ.

පසුගිය දවස්වල අලුත් ආරාධනයකුත් ලැබුණා?

ඔව්. සිතාරා දේශානි රත්නායක තිරරචනාව සිදුකළ රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කරනු ලබන ප්‍රමිලා සුරංගනී නිෂ්පාදනය කරන ‘සිල්ලර හීන’ කියන ටෙලි නාට්‍යයට තමයි මම අලුතෙන්ම සම්බන්ධ වුණේ.

සිල්ලර හීන ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණේ කොහොමද?

දිනේෂ් අයියා හරහා තමයි මට ඒ ආරාධනාව ලැබුණේ. පසුව රවීන්ද්‍ර අයියත් තරංග අයියත් මට සිල්ලර හීන ටෙලි නාට්‍යයේ අවස්ථාවක් ලබාදුන්නා. නර්තනයට ආසාවෙන් කොළඹට එන තරුණියක් මුහුණ දෙන සිද්ධිදාමයක් ඇතුළත් චරිතයක් තමයි මට රඟපාන්න තියෙන්නේ.

යශෝධරා කොහොමද රඟපෑමට එන්නේ?

මගේ අක්කා නර්තන ගුරුවරියක්. ඒක හින්දා මමත් පුංචි කාලේ ඉඳලා නර්තනයට සම්බන්ධයි. උසස් පෙළට නාට්‍ය හා රංග කලාව වගේම නර්තනය කියන විෂයන් දෙකම හදාරනවා. නාට්‍ය හා රංග කලාව කියන විෂය ධාරාවෙන් තමයි මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරෙන්නේ. එතැනින් පසුව තමයි රංගන ක්ෂේත්‍රයට පිවිසුණේ.

යශෝධරා මානගේ අවුරුදු කුමාරියක් කියලත් ආරංචියි?

2024 වසරේ අයිටීඑන් අවුරුදු කුමරිය තරගයේ තුන් වැනි ස්ථානය ලබාගන්නවා. ඒ අවස්ථාව මම යන ගමන්මඟට තවත් අත්දැකීමක් වුණා. අවුරුදු කුමරිය තරගයෙන් පසුව මගේ ගමනට වෙනස්ම දෙයක් එකතු වුණා කියලත් හිතනවා.

පුංචි කාලෙ ඉඳලා නිළියක් වෙන්න හීන මැව්වද?

නිළියක් වෙනවා කියන අදහසේ හිටියේ නැහැ. මම පුංචි කාලේ ඉඳලා ආසා කළේ නැටුම්වලට. මට ඕනෑ වුණේ නැටුම්වලින් ඉදිරියට යන්න. රවීන්ද්‍ර අයියාගේ අලුත් නාට්‍යයෙන් නර්තනයට ආසා චරිතයක් විදිහට තමයි මාව එළියට එන්නේ. ඉස්සර ඉඳලා නැටුම්වලට ආසයි. අක්කත් එක්ක සම්බන්ධ වෙලා නැටුම් වැඩ කළා. සරසවියේ නාට්‍ය හා රංග කලාව විෂයක් විදිහට කරන කාලේ රඟපෑමට එන්න ආසා හිතුණා. ඇත්තටම නිළියක් වෙන්න ඕනෑ කියන අදහස ආවේ විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ.

එතකොට නර්තන ශිල්පිනියක් වීමේ සිහිනය අතහැරියාද?

නැහැ. මම කැම්පස් එකෙන් නාට්‍ය හා රංග කලාව විෂය ඇතුළේ කරන්නේ මුද්‍රා නාට්‍ය කලාව.

යශෝධරාගේ පවුලේ විස්තර එහෙම?

මම මුලින්ම පාසල් ගියේ වලල්ලාවිට මහා විද්‍යාලයට. ඊට පස්සේ මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසලට. මගේ පවුලේ අම්මයි, තාත්තයි, අයියයි, අක්කලා දෙන්නයි.

මේ ආපු ගමන ගැන පසුවිපරමක් කළොත්?

මට ඇත්තටම සතුටුයි. මුලින්ම හිතුවේ අධ්‍යාපනයෙන් හොඳ තැනකට එන්න ඕනෑ කියලයි. දැනට මම ආපු ගමන ගැන ඇත්තටම සතුටුයි.

උපාධිය අවසන් කරලා නිළියක් වෙන්න ද බලාපොරොත්තුව?

රංගන ශිල්පිනියක් වෙනවා වගේම උසස් අධ්‍යාපනයෙහි ඉදිරියට යන්නත් හිතාගෙන ඉන්නවා.

යශෝධරා මානගේ කියන්නේ කවුද?

මම ඉතින් දැනට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා. වෘත්තීය වශයෙන් රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක් විදිහටත් කටයුතු කරගෙන යන සාමාන්‍ය විදිහට ජීවත්වෙන තරුණියක්.

විලාසිතාවලට මොනවගේ නැඹුරුවක් ද තියෙන්නේ?

මම විවිධ විලාසිතාවලට කැමැතියි. නිශ්චිත දෙයක් නැහැ. හැමදෙයකටම ආසත් නැහැ. මට සුදුසුයි කියලා හිතන විලාසිතාවලට තමයි කැමැති.

කැපිලි කෙටිලිවලට එහෙමත් මුහුණ දෙන්න වෙලා තියෙනවද?

ඇත්තටම හැමෝගෙන්ම සහයෝගය ලැබුණා. මට අලුත් ආරාධනා ලැබෙන්නත් ඇත්තේ මගේ මොකක්හරි සාර්ථකත්වයක් තිබෙන හින්දනේ. ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය හින්දයි මට මේ ගමන යන්න පුළුවන් වෙලා තියෙන්නේ.

මේ ලැබෙන ජනප්‍රියත්වය ගැන මොකද හිතන්නේ?

සතුටුයි. මම තවම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුද්දයි. මේ ආපු ගමන ගැන ඇත්තටම සතුටුයි.

අධ්‍යාපන කටයුතුයි රඟපෑමයි සමබරව කරගෙන යන්න පුළුවන්ද?

මුලදී නම් තනියම වැඩ ටික කරගන්න එක ලොකු අභියෝගයක් වුණා. ඒකත් මගේ ජීවිතයට ලොකු අත්දැකීමක් වුණා. හැබැයි දැන් මම හැමදේම සමබරව කරගෙන යනවා.

මේ ජනප්‍රියත්වයත් එක්ක ආදර යෝජනා එහෙමත් එනවා ඇති?

ඒක සාමාන්‍යයෙන් ගැහැනු ළමයකුට ලැබෙන දෙයක් නේ. නමුත් එහෙම විශේෂ යෝජනා නැහැ.

මහේෂ් එදිරිසිංහ


advertistmentadvertistment