අසිරිමත් තෙමඟුල සිදුවුණ වෙසක් පුන් පොහෝ දිනය

38
අසිරිමත් තෙමඟුල සිදුවුණ වෙසක් පුන් පොහෝ දිනය

අමා දහම් සිසිලෙන් තුන්ලොවක් සනසා සතට නිවන කරා යාහැකි මඟ කියා දුන් බුදු හිමිගේ අසිරිමත් තෙමඟුල සිදුවුණ වෙසක් පුන් පොහෝ දිනය අදයි. එනිසා අද දවස ශ්‍රී ලාංකීය බොදුවනට අතිශයෙන් ශ්‍රේෂ්ඨ උත්තරීතර දිනයකි.

මම ලොවට අග්‍ර වෙමි
මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි
මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි
මේ මාගේ අන්තිම ජාතියයි

මේ අභීත වාක්‍යයන් සිදුහත් බෝසතාණන් වහන්සේ ප්‍රකාශ කළේ අද වන් දවසකය. සසර නැවත නැවත ඉපදීම මහත් දුකකි. ආත්මභාවය නමැති ගෙය හදන තෘෂ්ණාව නමැති වඩුවා මම සොයා ගතිමි. නැවත ඔබට මගේ පංචස්කන්ධය නමැති ගෙය හදන්නට නොහැක. තාගේ කෙළෙස් පරාල මා විසින් බිඳ දමන ලදී. කැණි මඬල ද විනාශ කරන ලදී. දැන් මම නිවන කරා පැමිණියෙමි.

බෝසතාණන් වහන්සේ බුදු පදවියට පත්ව මේ උදාන වාක්‍යය ශ්‍රී මුඛයෙන් දේශනා කළේ ද අදවන් වෙසක් පුන් පොහෝ දිනකය.

“මහණෙනි, මම තොප අමතමි. සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුය. එබැවින් ස්කන්ධ ධර්මයන්ගෙන් මිදී නිවන් අත්පත් කරගනු පිණිස අප්‍රමාදයෙන් සහ එළැඹි සිහියෙන් ක්‍රියාකරව් යන මේ අන්තිම බුදු වදන උන්වහන්සේ දේශනා කළේ ද අදවන් වෙසක් පුන් පොහෝ දිනක ය. මේ ආකාරයෙන් අසිරිමත් තෙමඟුල සිදුවුණ අද වන් දිනෙක උන්වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු මේ බුද්ධ භාෂිතයන් අපේ ජීවිතවලට සම්බන්ධ කර ගනිමින් ජීවිත සකසා කටයුතු කිරීමට උත්සාහ කරගත යුතුය.

එසේම බුදුරජාණන් වහන්සේගේ තෙවන වර ලංකා ගමනය වෙසක් පුන් පොහෝ දින සිදුවීම ද විශේෂත්වයකි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ තෙවන වරට කැලණිය පුද බිමට වැඩමවීම ද මෙරට බෞද්ධ ජනතාවට සුවිශේෂී වෙයි.

මෙරට පාලකයකු වූ දේවානම්පියතිස්ස රජතුමාගේ දෙවන වර අභිෂේක මංගල්‍යය සිදුවූයේ ද අදවන් පොහෝදිනකය. දුටුගැමුණු රජතුමා විසින් අනුරාධපුරයේ ඉදිකරන ලද ස්වර්ණමාලි චෛත්‍ය රජාණන් වහන්සේ ඉදිකිරීමට මූලික අදහස බිහිවුවා යැයි සැලකෙන්නේ ද වෙසක් පුන් පොහෝ දිනක වීම ද සුවිශේෂී වේ.

විජය රජු ඇතුළු පිරිස භාරතයේ සිට මෙරටට පැමිණ තිබෙන්නේ ද අද වන් පුන් පොහෝ දිනක වීමද ශ්‍රී ලාංකීයන් ලෙස අපට ඉතා වැදගත් වේ. මෙවන් වූ සුවිශේෂී කාරණා රැසක් සිදු වූ වෙසක් පුන් පොහෝ දිනය ලෝ වැසි සියලු බෞද්ධ ජනතාවට වැදගත් දිනයකි.

ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාව තෙමඟුල සිහිපත් කරමින් වෙසක් පුන් පොහෝදා විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් දාන සීල භාවනා ඇතුළු ආගමික වතාවත්වල නිරිත වන අතර විවිධ දන්සල් පවත්වමින් දානමය පින්කම් සිදු කිරීම ද දක්නට ලැබේ. අප බෞද්ධ ජනතාව පහන් කූඩු , තොරණ ඉදි කරමින් වෙසක් තෙමඟුල උත්සවශ්‍රීයෙන් යුතුව සැමරීම සිදු කරයි.

සියලු බුදුවරුන් වහන්සේලාගේ අනුශාසනාවන් වන්නේ සියලු පාපයන්ගෙන් අතමිදී කුසල ධර්මයන් සිදුකරමින් සිත පිරිසිදුව තබා ගනිමින් කුසල් වැඩිය යුතු බවය.

“සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා – සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානු ශාසනං යනුවෙන් දේශනා කළේ එයයි”.

අපි විසින් කරන ක්‍රියාවන් කොටස් දෙකකට බෙදා වෙන් කළ හැක. පින් පව් වශයෙනි. කුසල් අකුසල් යනු ද මෙයම වේ. අකුසල මූලයන්හට හටගන්නේ සිත මුල් කරගෙනය. කුසල මූලයන්හට ගන්නේ ද සිත මුල්කරගෙනය. සිතමුල් කරගෙන යමෙක් යහපත් වැඩ කරයි නම් ඒ ප්‍රතිඵල තමන් පසුපස එන සෙවනැල්ල මෙනි. සිතමුල් කරගෙන අයහපත් වැඩ කරයි නම් එය ගොනකු පසුපස යන රිය සකමෙන් තමන් පසුපස එයි. මේ අනුව කෙනකුට හොඳ හෝ නරක ක්‍රියාවන් කර අත මිදිමට නොහැකි බව පෙන්නුම් කර දෙයි. ගම , රට , ගෙදර, පවුල , සමාජය නිර්මාණය වන්නේ පුද්ගල එකතුවකිණි. තමන් මුල්කර ගෙනය. එබැවින් පළමුව තමන් යහපත් අයකු වියයුතුය . පිරිසිදු බව හෝ අපරිසිදු බවට වගකිවයුත්තේ තමන් බැවින් බුද්ධි ගෝචරව කටයුතු කර ගත යුතුය. සිල්වත් බවෙන් ගුණවත් බවෙන් ආචාරශීලී බවෙන් සාරධර්ම ගුණධර්ම රකිමින් දිවිසැරිය ගෙන යා යුතුය.

පුද්ගල පාරිශුද්ධයේ මුල්ම අත්තිවාරම පංචශීල ප්‍රතිපදාවයි. යමෙක් පන්සිල් ගනිමින් ප්‍රාණඝාතයෙන් , සොරකමෙන්, කාමය වරදවා හැසිරීමෙන්, බොරුකීමෙන් , සුරාවෙන් වැළකී කටයුතු කරයි නම් ඔහු තුණුරුවන් සරණ ගිය බෞද්ධයෙකි. ඔහුගෙන් ගමටත් , ගෙදරටත් , පවුලටත්, සමාජයට සහා රටටත් සිදුවන්නේ යහපතක්මය.

අත්ත දීපාවිහරථි” තමන් තමන්ට පහනක් වුවායැයි කිව හැක්කේ එවිටය. කෙනෙක් උපතින් වසලයෙක්වත් බ්‍රාහ්මණයෙක්වත් නොවේ. කරන ක්‍රියාවෙන් වසල හෝ බ්‍රාහ්මණ වන බව බුදු හිමි අවධාරණය කර තිබේ. බමුණන් තමන් බ්‍රාහ්මණයාගේ මුවින් උපන් බැවින් අන් අයට වඩා ශ්‍රේෂ්ඨ බවත් අන් හැම පහන් බවත් තම මතය අනුව ක්‍රියා කළ යුතු බව පැවසූහ.

යමකු කළ පව් ගංගා ඇළ දොළවල නෑ මෙන් එම පව්සේදී යන බව පැවසීය. එසේ නම් දියෙහිම වෙසෙන කැස්බෑවන්, මත්ස්‍යයන්ගේ පව් සේදීම ද සිදුවනු ඇතැයි බුදු හිමි පෙන්වා දී තිබේ. දෙවියන් සතුටු කිරීම වෙනුවෙන් අහිංසක සතුන් මරා ගිනි දෙවියෝ පිදිය යුතු බවට බ්‍රාහ්මණයන්ගේ මතයක් පැවැතිණ . ඉන්දීය සමාජයේ තදින් මුල් බැසගත් මේ මතයන් අර්ථ ශූන්‍ය කරමින් කරන ක්‍රියාන් මත තමන් වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන බව නිදසුන් මගින් පෙන්වා දීතිබේ.

දෙමාපියන් , ගුරුවරුන්, වැඩිහිටියන් කල්‍යාණ මිත්‍රයන් දුක සැප දෙකෙහි අපට පිහිට උනත් ඒ පිහිට පිහිටට වඩා තමන්ගේම පිහිට ශ්‍රේෂ්ඨ බවය.

“අත්තා හි අත්තනො නාතො – කොහි නාතො පරො සියා” යනුවෙන් පෙන්වා දී තිබේ.

වර්තමාන සමාජයේ ගුණධර්ම, සාරධර්ම, චාරිත්‍ර වාරිත්‍ර සෝදාපාළුවට ගොස් තිබේ. දෙමාපිය දූ දරු සබඳතා, ගුරුවරු සිසු සබඳතා, දැසි දස් සබඳතා, ස්වාමිභාර්ය සබඳතා ශ්‍රමණ බ්‍රාහ්මණ සබඳතා මැනවින් ඉටු නොකිරීම නිසා අඩදබර, කලකෝලාහල අසමගිය මිනීමැරුම් වර්ධනය වී සියලු පවුල් සංස්ථා පරිහානියට පත්ව ඇති බව පෙනේ.

දාන පාරමි, දාන උප පාරමී, දාන පරමත්ථ පාරමී ආදී වශයෙන් දස පෙරුම් දම් පුරා බෝසතාණන් වහන්සේ අනන්ත අප්‍රමාණ පරිත්‍යාගයන්කොට ලොව්තුරා බුද්ධ රාජ්‍යට පත්වී අපට දේශනා කළේ සියලු දුක් දුරලීම සඳහා නිවන් කරා යා හැකි බවයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළ යුතු බවයි. ඒ සඳහා අප තුන් සිත හික්මවා ගනිමින් ඒ මාර්ගයේ ගමන් කළ යුතුව තිබේ.

“තුම්මේහි කිච්චං ආතප්පං – අක්වාරෝ තථාගතා” යනුවෙන් දේශනා වන්නේ ද එයයි.

ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සම්මා දිට්ඨියයි. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යනුවෙනි.

සම්මා දිට්ඨි නම් දුක දුක හටගැනීමේ හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මඟ යන චතුරාර්ය සත්‍යය අවබෝධ යයි.

සම්මා සංකප්ප නම් නිවැරදි කල්පනාවයි. කාම, ව්‍යාපාද, හිංසාව යන අකුසල යන්ගෙන් වෙන් වී නෙක්ඛම්ම, අවිහිංසාව යන කුසල සංකල්පයන්ගෙන් යුක්ත වීමයි.

සම්මා වාචා නම් බොරු කීම, කේළම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම යන්නෙන් වැළකී සිටීමයි.

සම්මා කම්මන්ත නම් ප්‍රාණඝාතය, අදත්තා දානය, කාමමිථ්‍යාචාරයන්ගෙන් වෙන්ව සිටීමයි.

සම්මා ආජිව යනු සත්ව හිංසාව, වහල් වෙළෙඳාම, මත්පැන් වෙළෙඳාම, විස වෙළෙඳාම යන්ගෙන් වැළකී සිටීම.

සම්මා වායාම යනු නූපන් අකුසල් නොයිපදවීම,උපන්න අකුසල් නැති කිරීම, නූපන් කුසල් උපදවීම, උපන් කුසල් දියුණු කිරීමයි.

සම්මා සති – කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන සතර සතිපට්ඨානය වැඩීමයි.

සම්මා සමාධිය යනු පංච නීවරණ ධර්මයන් යටපත්කොට ධ්‍යාන වඩමින් සිත එකඟ බවට පැමිණීමයි.

නිවන් කරා යා හැකි නිවැරදි මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බැවින් ඒ කරුණු කාරණා අපේ ජීවිතවලට සම්බන්ධ කර ගනිමින් කටයුතු කර ගැනීමට මේ වෙසක් පුන් පොහෝදා අදිටන් කරගත යුතුය.

අසිරිමත් තෙමඟුල සිදුවුණ වෙසක් පුන් පොහෝ දිනය



අනුරාධපුර ලංකාරාමාධිකාරි, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
රැළපනාවේ ධම්මජෝති නාහිමි


advertistmentadvertistment