ඖෂධ අර්බුදය යම්තාක් දුරට සමනය වෙලා
ඒත් තවමත් ඖෂධවල හිඟතාවයක් තිබෙනවා
අලුත් රජයට තියෙන අභියෝගය වන්නේ අකාර්යක්‍ෂම ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා සම්බන්ධීකරණ ගැටලු නිරාකරණය කිරීමයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ
වෛද්‍ය සැපයුම් ඒකකයේ නිල දත්ත පද්ධතියට අනුව ඖෂධ තුන්සියයක පමණ හිඟයක්
වෛද්‍ය සැපයුම් ඒකකය හිස් වුණේ රජයේ නිලධාරීන්ගේ වරදින්
බාල ඖෂධ වංචාවට සම්බන්ධ නිලධාරීන් තාමත් ඖෂධ නියාමන අධිකාරියේ වැඩ
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව
අද වනවිට මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ පවතින ඖෂධ හිඟය දිනෙන් දිනම උග්‍ර වන බවක් පෙනී යන්නේ බහුතරයක් රෝගීහු මුහුණ දී ඇති ගැටලු පිළිබඳ විමසීමේදීය. දිවයිනේ බොහෝ රෝහල් තුළ ඇති තදබදය හා ඖෂධ හිඟය හේතුවෙන් බොහෝ රෝහල් තුළ සායනවලට යොමුවී ප්‍රතිකාර ගන්නා රෝගීන් බොහෝ දුර ගෙවා වෙනත් රෝහල් වෙත යෑමේ ප්‍රවණතාවයක් පවතින්නේය. ගෙවුණු කාලය තුළ රට තුළ සෞඛ්‍ය ඇමැතිවරුන් කිහිපදෙනකු මාරු වුවද, එපමණක් නොව, ආණ්ඩුව ද වෙනස් වුවද තාමත් රෝහල් තුළ ඖෂධ හිඟය එසේමය. බාල බෙහෙත් ද තවමත් රෝහල් තුළය. වැලනොකැඩී ඇදෙන පෝලිම් ද එලෙසමය. කොටින්ම කිවහොත් රෝහල් තුළ වෛද්‍යවරු හිඟකමෙන් රටේ රෝහල් රැසක් වැසී යෑමේ අනතුරක ද ඇත්තේය. පසුගිය කාලය තුළ මෙරටට බාල බෙහෙත් ගෙනා අය ද එයට වගකිවයුත්තෝ ද බන්ධනාගාරගත විය. එහෙත් මෙරට සෞඛ්‍ය පද්ධතියේ ප්‍රශ්න එතැනින් නැවතී නැත. එයට හේතුව ඒවාට වගකිවයුතු ඇතැම් නිලධාරීන් තවමත් එම තනතුරුවල සිටීමය. එවන් තත්ත්වයක් තිබිය දී රටේ සෞඛ්‍යය එදා මෙන් අද ද තිබෙන්නේ අසාධ්‍ය තත්ත්වයකය. ඒ ගැන අසන්නට ඇති කතා ද ඇඟ හිරිවැටෙන තරම්ය.
බාල බෙහෙත් 500ක් තාමත් රෝහල් පද්ධතියේ
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය නොමැති, ප්‍රමිතියෙන් තොර ඖෂධ පන්සියයකට ආසන්න ප්‍රමාණයක් රටේ සංසරණය වීම නිසා රෝගී ජීවිත දැඩි අවධානමකට ලක්ව ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත. ඒ පිළිබඳව රෝහල් අධ්‍යක්‍ෂකවරු පිරිසක් පෙන්වාදී ඇත්තේ රජයේ රෝහල් විසින් හදිසියේ කරනු ලබන මිලදී ගැනීම්වලන් 40%ක ඖෂධ ප්‍රමාණයක් මෙරට ලියාපදිංචි වී නැති ඖෂධ බවය. ඒ පිළිබඳව රෝහල් අධ්‍යක්‍ෂවරුන් ඖෂධ සමාලෝචන රැස්වීමේදී මේ පිළිබඳව කරුණු සෞඛ්‍ය ප්‍රධානීන්ට පෙන්වාදී ඇත්තේය. එයට හේතු ලෙස සෞඛ්‍ය අංශ කියා සිටින්නේ ඖෂධ නියාමන අධිකාරියේ නිසි ලෙස නැවත ලියාපදිංචි කිරීම සහ නව ලියාපදිංචි ඖෂධවල සහතිකපත් අදාළ සමාගමට ලබාදීමට ප්‍රථමයෙන් ප්‍රධාන විධායක නිලධාරියා අත්තනෝමතික ලෙස මිල නියාමනය කිරීම මෙම තත්ත්වයට හේතුව බවය. එහිදී ඔවුහු පෙන්වා දෙන්නේ ඖෂධ නිෂ්පාදනය කර්මාන්තයක් ලෙස සිදුකරන රටවල ඖෂධ මිල නියාමනය කිරීම සඳහා වෙනම ස්වාධීන ආයතනයක් සහ ඖෂධවල ගුණාත්මකභාවය නියාමනය කිරීම සඳහා වෙන් වෙන්ව ආයතන පවතින බවය. ඔවුන් වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ මෙරට ඖෂධ නියාමන අධිකාරී පනතෙන් ද එම කටයුතු කිරීම සඳහා බලතල ඇති බවකි.
ලංකාවට බාල බෙහෙත් ආ හැටි
අපේ රටට බාල බෙහෙත් ආපු හැටි දැන් බොහෝ දෙනකුට සිහියට එන බව නම් සැබෑය. හදිසි මිලදී ගැනීමේ කඩතුරාවට මුවාවී හිටපු සෞඛ්‍ය ඇමැති ඇතුළු එයට මුලපිරූ ඉහළ නිලධාරීහු කළ බාල බෙහෙත් වංචා පසුගිය කාලයේ එළියට ආවේය. බාල අක්‍ෂි දියරයක් වන ඡරුාබසිදකදබැ හේතුවෙන් රෝගීන් එකසිය පනහකට ආසන්න ප්‍රමාණයක සදාකාලික සහ තාවකාලික වශයෙන් දෘෂ්ටි ආබාධවලට ලක්වන්නට විය. ආන්දෝලනයට තුඩුදුන් අනෙක් බෙහෙත් වංචාව බාල ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචාවය. එකල එම එන්නත නිසා රෝගීහු මියගියහ. අසාධ්‍ය තත්ත්වයට පත්වන්නට විය. තවද බාල පිළිකා ඖෂධ ද රට තුළට රිංගුවේ හිටපු ඇමැතිලාගේ හදිසි මිලදී ගැනීමේ කඩතුරාවේ පිටුපසිනි. ඒ අන්දමින් පසුගිය කාල සීමාවේදී ඖෂධ නියාමන අධිකාරියේ නිසි නියාමනය සහ රසායනාගාර පරීක්‍ෂණවලින් තොරව මෙරටට ගෙනෙන ලද ඖෂධ සැලකිය යුතු ප්‍රමාණයක් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාදී ඇත්තේය. එබැවින් කුමන මොහොතක හෝ රෝගී ජීවිතවලට අනතුරු විය හැකිය.
මෙරට ඖෂධ ලියාපදිංචිය සිදුකළ යුතු ආකාරය ගැන ඖෂධ නියාමන අධිකාරි පනතේ ඉතා පැහැදිලිව සඳහන් කර ඇත්තේ ය. එහෙත් පසුගිය කාලය තුළ හිටපු සෞඛ්‍ය බලධාරීන් සිදුකළේ දේශපාලන අවශ්‍යතාවයන් මත හෝ පෞද්ගලික වාසි මත නිසි ලියාපදිංචිය නොමැති ඖෂධ සැපයුම්කරුවන් හරහා ඖෂධ මෙරටට ගෙන ඒමය. එයින් සිදුවූයේ මෙරට රෝගී ජනතාව තවත් අමාරුවේ වැටීමය. ඇතැම් රෝගීන් එයට වන්දි ගෙවුවේ ජීවිතවලින්ය. තවත් අය සදාකාලිකව ආබාධිතවය. තවත් අයෙක් විවිධ සංකූලතාවලින් ය. එපමණක් ද නොවේ, එමනිසා අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය පිළිබඳව ඇති මහජන විශ්වාසය බින්දුවට ම ඇදවැටුණු බව නම් සැබෑය.
බාල බෙහෙත්වලට වගකිවයුතු අය තාමත් රජයේ පුටුවල
පසුගිය කාලසීමාව තුළ බාල බෙහෙත් නිසා අසරණ තත්ත්වයට පත්වූ වින්දිතයන්ට විසඳුමක් ලබාදෙන්න යැයි පසුගියදා වෛද්‍ය චමල් සංජීව වත්මන් ආණ්ඩුවේ ජනපතිවරයාට හා අගමැතිවරියගෙන් ඉල්ලා සිටියේය. ඔහු කියන්නේ බාල ඖෂධ වංචාවන්ට සම්බන්ධ නිලධාරීන් රැසක් තවමත් රජයේ සේවය කරන බවය. වත්මන් ආණ්ඩුවෙන් එවැනි නිලධාරීන් වහා ඉවත්කළ යුතු බව ඔහු පෙන්වා දෙන්නේය.
අත්‍යවශ්‍ය ඖෂධ 300ක් තාමත් හිඟයිලු
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ නිල දත්ත පද්ධතියට අනුව ඖෂධ තුන්සියයක පමණ හිඟයක් පෙන්නුම් කරයි. එම ඖෂධ අතර ඉන්සියුලින්, සෝඩියම් බයිකාබනේට්, ඉමියුනොග්ලොබියුලින්, කාබෝප්ලැටින්, ඉරිනෝටිකන් යන ඖෂධ වර්ග හිඟයක් පවතින බව පැහැදිලිය. එයට වගකිවයුත්තෝ කවුරුන් ද යන්න සොයාබැලීමේදී වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව කියන්නේ රජයේ නිලධාරීන්ගේ වරදින් වෛද්‍ය සැපයුම් ඒකකය හිස්වුණු බවත්, හිමොෆීලියාව, දියවැඩියාව, පිළිකාව ඇතුළු රෝග රැසකට ලබාදෙන ඖෂධ අද වනවිට මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ හිඟයක් පවතින බවකි.
හිමොෆීලියා රෝගීන් දෙදහසකගේ ජීවිත අනතුරේ
ප්‍රසම්පාදන ක්‍රියාවලියේ හේතුවක් මත මේ වනවිට හිමොෆීලියා රෝගීන් දෙදහසකගේ ජීවිත අනතුරක ඇති බවද හෙතෙම කියන්නේ ය. මේ කතාව ද අසන්නට අකමැති පුවතක් වුවද රටේ ජනතාවද දැනගත යුතුය. අප ඒ පිළිබඳ වෛද්‍යවරයාගෙන් කළ විමසීමකදී පවතින තත්ත්වය පැහැදිලි කළේය.
“රුධිරයේ කැටි ගැසීමට ඉතා කුඩා සීරීමකින් පවා විශාල රුධිර ගලනයක් ඇති වන හිමොෆීලියා රෝගීන්ගේ රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා ලබාදෙන Emicizumab නමැති ඖෂධය මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ ප්‍රමාණවත් නොවීමෙන් එම රෝගීන්ගේ ජීවිත අනතුරට ලක්වීමේ විශාල අවධානමක් තිබෙනවා.”
ඔහු සඳහන් කරන්නේ පසුගිය කාලය තුළ මෙරට සෞඛ්‍ය පද්ධතිය එම ඖෂධය අදාළ ඖෂධය මිලදී ගැනීමක් සිදුකර තිබුණ ද, එහි ගුණාත්මකභාවය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රශ්න කිරීම හේතුවෙන් අදාළ සමාගමෙන් මිලදී ගැනීම නතර කළ බවය. හිමොෆීලියා රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර කිරීම සඳහා විශාල මුදලක් වාර්ෂිකව සෞඛ්‍ය අමාත්‍යාංශය වියදම් කරන බවද ඔහු කියයි. එහෙත් මෙම නව ඖෂධය එක කුප්පියක් සඳහා ඇමෙරිකානු ඩොලර් 1700 ක මුදලක් වියදම් වන බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ දක්වා එම මිලදී ගැනීම් සඳහා කැමැත්ත ලබාදී නැති බවද වෛද්‍යවරයා කීවේය.
පරණ අවුරුද්දෙන් අලුත් අවුරුද්දට යන ඖෂධ හිඟය
නව වසර සඳහා අවශ්‍ය කරන ඖෂධ ඇණවුම් කිරීමට අවශ්‍යතාවය තිබුණ ද මෙම වර්ෂයේ තුන්වන කාර්තුව ද අවසන් වනවිට ද ඒ සඳහා අමාත්‍යාංශය උනන්දු නොවූ බව කියන්නේද වෛද්‍ය චමල් සංජීවය. ඔහු කියන්නේ බාල ඖෂධ වංචාවට සම්බන්ධ නිලධාරීන් තවදුරටත් ඖෂධ නියාමන අධිකාරියේ සේවය කරන බවය. ඉන්සියුලින්, ඉමියුනොග්ලොබියුලින් ඇතුළු ඖෂධ ගණනාවක් සඳහා වෙළෙඳපොළ ඒකාධිකාරියක් පවත්වාගෙන යන්නේ නිලධාරීන්ගේ වරදින් බව ඔහුගේ චෝදනාවය. ඇත්තට ම වෙළෙඳපොළ තුළ පවතින ඖෂධ ඒකාධිකාරිය බිඳ හෙළීමට නම් තරගකාරී මිල පවත්වාගෙන යෑමට නව සමාගම්වලට ලියාපදිංචිය ලබාදීමට කටයුතු කළ යුතුය. එහෙත් මේ වනවිට ද එවැනි සමාගම්වලට ලියාපදිංචිය ලබාදීමට ඖෂධ නියාමන අධිකාරිය සමත්වී නොමැති බව ද ඔහු කියන්නේය.
“ඇතැම් සමාගම් දින දෙකෙන් ලියාපදිංචි කරන ඖෂධ නියාමන අධිකාරිය තවත් සමාගම් ලියාපදිංචියට වසර දෙකකට වැඩි කාලයක් ගතකරන බව අවසාන විගණන වර්තාවේ පවා පෙන්වා දී තිබෙනවා. ඒ විතරක් නොවේ. ප්‍රසම්පාදනය අවසන් කොට ඇති ඇතැම් සමාගම්වලට අදාළ ලිපිගොනු සම්පූර්ණ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා හෝ වෛද්‍ය සැපයුම් ඒකකය භාර නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා හෝ කටයුතු කර නෑ.”
පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාව සිදුවනවිට ද එහි ප්‍රධාන නිලතල දරන ලද එවකට විධායක අධ්‍යක්‍ෂකවරයා අද එහි විධායක අධ්‍යක්‍ෂකවරයා ලෙස සේවය කරන බවද ඔහු පෙන්වා දෙයි. ඔහුගේ කතාවෙන් හැඟෙන්නේ ආණ්ඩු මාරු වුණාට සෞඛ්‍ය පද්ධතියේ වෙනස් කළ යුතු බොහෝ තනතුරු තවමත් වෙනස් නොවී ඇති බවය. එළැඹෙන 2025 වසර සඳහා ඖෂධ හිඟයක් ඇතිවීමට ප්‍රධාන හේතුව කල් ඇතුව පුරෝකතන කොට ඊට අවශ්‍ය පරිදි සැලසුම් සකස් නොකිරීම බවද වෛද්‍යවරයා කියා සිටියි.
පසුගිය කාලය තුළ සිදුවූ වංචාවලට එම තනතුරුවල ද සිටි උදවිය ද වගකිව යුතු බොහෝ වෛද්‍ය සංගම් පවා පෙන්වා දෙති. ඔවුන් චෝදනා කරන්නේ පසුගිය කාලයේ බාල ඖෂධ රටට පැමිණෙනවිට බාල ඖෂධ නැතැයි ජනමාධ්‍යය ඔස්සේ අසත්‍ය ප්‍රකාශ කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තවදුරටත් එම නිලයේම රැඳී සිටින බවය.
මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ පවතින ගැටලු පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහගෙන් සිදුකළ විමසීමක දී ඔහු කියන්නේ මෙවැන්නකි.
“පසුගිය අවුරුද්දත් එක්ක බැලුවම ඖෂධ අර්බුදය යම්තාක් දුරට සමනය වෙලා තිබෙනවා. තවමත් ඖෂධවල හිඟතාවයක් රෝහල් පද්ධතිය තුළ පවතිනවා. එයට විකල්ප ඖෂධ අරගෙන තියෙන තත්ත්වය කළමනාකරණය කර ගන්න පුළුවන්කම පවතිනවා.
ගොඩක් ඖෂධවල හිඟතාවයක් එන්නේ බෙදාහැරීමේ ක්‍රියාවලියේ කළමනාකරණ පද්ධතියේ තියෙන ගැටලු හේතුවෙන්. සාමාන්‍යයෙන් අපේ රටේ රෝහල් පද්ධතියේ ධාරිතාවට සාපේක්‍ෂව විශාල ජනතාවක් රජයේ රෝහල්වලට ඇදී එනවා. පසුගිය කාලයේ ආර්ථික අර්බුදය හා ඖෂධවල මිල ඉහළ යෑමත් එක්ක පෞද්ගලික අංශයෙන් සේවය ලබාගත් රෝගීන් පවා ජාතික රෝහල් පද්ධතියෙන් ප්‍රතිකාර ලබනවා. පොදුවේ ඖෂධ පද්ධතිය ගැන චෝදනා තිබෙනවා. ඒක අපි නිතරම කියන කාරණාවක්. අපි කියන්නෙත් එහෙම චෝදනා තියෙන නිලධාරීන් සම්බන්ධව කටයුතු කළ යුතුයි කියලයි. අලුත් රජයට තියෙන අභියෝගය තමයි පවතින අකාර්යක්‍ෂම ප්‍රසම්පාදන ක්‍රියාවලිය වගේම සම්බන්ධීකරණ ගැටලු ගණනාවක් තිබෙනවා. ඒ නිසා සෞඛ්‍ය පද්ධතියේ තියෙන ප්‍රසම්පාදන ක්‍රියාවලිය විදිමත් කාර්යක්‍ෂම ක්‍රමවේදයක් බවට පත්කිරීමේ අභියෝග නව සෞඛ්‍ය අමාත්‍යවරයාට තිබෙනවා.”
පසුගිය කාලය තුළ මෙරට ප්‍රදේශ කිහිපයකම රෝහල් පිළිබඳ අප කළ සොයාබැලීමක දී සායනවලට යොමුවූ රෝගීන් බොහෝමයක් කියා සිටියේ අදාළ රෝගයට ප්‍රතිකාර ගන්නට ආණ්ඩුවේ ඉස්පිරිතාලයකට ගියවිට ඔවුන්ට ඒ සඳහා සායනයට පෙනී සිටීමට දින ලබාදෙන්නේ මාස දෙක තුනකටත් එහා ගිය දිනයක් බවය. මේ එවැන්නකු අප හා කියූ කතාවකි.
“මම අද පාන්දර ම රෝහලට ආවේ මගේ ආතරයිටීස් රෝගයට බෙහෙත් ගන්න. එහිදී වෛද්‍යවරයා මගේ රෝගය පරීක්‍ෂා කරල මට ක්ලිනික් දිනයක් දුන්නා ලබන අවුරුද්දේ පෙබරවාරි මාසයේ දිනයක එන්න කියලා. එච්චර කල් යන්නෙ ඇයි කියල මම ඇහුවම එතැනින් කිව්වේ රෝහලේ සායනවලට පෙනී සිටින රෝගීන් ප්‍රමාණය වැඩි නිසා රෝහල් පද්ධතිය තුළ පහසුකම් නෑ, රෝහලේ බෙහෙත් නෑ කියලයි. මම අහන්නේ ඒ වෙනකන් අපි බෙහෙත් නැතිව ජීවත් වන්නේ කොහොම ද? අපට මැරෙන්න ද කියන්නේ..” ඔහු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ කවුරුන් ද? එය අපේ රටේ සෞඛ්‍යයට ම භාරකර අපි නිශ්ශබ්ද වුණෙමු.
රමින්ද මාවතගේ