ආණ්ඩුව හිතවතුන්ට දුන් බිලියන 600ක බදු සහනවල වන්දිය ජනතාවට ගෙවන්න සිදුවෙලා – පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා

167

* කිලී රාජා මහේන්ද්‍රන් සහ  මංගල සමරවීර අහිමිවීම  රටට විශාල පාඩුවක්

‘‘විදෙස් රටවලින් ලබාගත් ණය ගෙවීමට නොහැකිව රට බංකොලොත් බවට පත්වෙමින් තිබෙනවා’’ යැයි සමගි ජනබලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලය ඊයේ (25 දා) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මෙසේද කීය.

‘‘මෑතකදී කොරෝනා වසංගතයෙන් අප අතරින් සමුගත් මහරාජා සමූහ ව්‍යාපාරයේ කිලී රාජ මහේන්ද්‍රන් මහතාට හා ඒ වගේම මෑතකදී අපෙන් වෙන්වූ ප‍්‍රබල දේශපාලනඥයකු වන මංගල සමරවීර මහතා යන දෙදෙනාගේ වියෝව සම්බන්ධව මාගේ හෘදයාංගම ශෝකය කම්පාව ඥාතීන්ට හා ඔවුන්ගේ ආයතනවල සේවය කරන සේවකයන්ට පුද කරනවා. සියලූම රටවැසියන්ට ඔවුන් රටට අහිමි වීම විශාල පාඩුවක්.

අද අපේ රටේ ප‍්‍රධාන ප‍්‍රශ්නයක් තිබෙනවා. රටේ ආර්ථිකය අවාසනාවන්ත ලෙස කඩාවැටිලා. රජය බලයට ආපු ගමන්ම ඒ අයගේ හිතවතුන්ට හා ජාවාරම්කාරයන්ට බදු සහන දෙන්න පටන් ගත්තා. ඒ හරහා අපේ රටට වර්ෂයකට බිලියන 600 ක පමණ පාඩුවක් සිදුවුණා. මෙම මුදල රජයේ භාණ්ඩාගාරයට අහිමි වුණා. එහි ප‍්‍රතිඵලවලට ජනතාව අද වන්දි ගෙවනවා. 2015 යහපාලන රජය ආපු වෙලාවේ රටේ ජනතාවට විශාල ලෙස සහන දුන්නා. කෑම බීම, හාල්, පරිප්පු, සීනි, පිටි, කරවල, හාල්මැස්සෝ, මුංඇට, පරිප්පු හැමදේම ඇතුළත්ව විදුලි බිලත් 15% කින් අඩු කළා. ඉන්ධන මිලත් අඩු කළා. හැම දේකින්ම ජනතාවට සහන ලබා දෙන ගමන් රජයේ සේවකයන්ට රුපියල් 10000 ක වැටුප් වැඩි කිරීමකුත් සිදුකළා. ඒ ආකාරයට ජනතාවට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් යහපාලන රජය නිර්මාණය කළා. නමුත් අපේ හිටපු නායකයන් දෙදෙනාගේ අලසකම නිසා ඒ වගේම ඔවුන්ගේ කාලකන්නි ආකල්ප නිසා බැඳුම්කර හොරකමත්, පාස්කු ප‍්‍රහාරයත් සිදුවුණා. එම ප‍්‍රහාරය වළක්වා නොගත්තාට අනිත් සෑම අංශයකින්ම අපි ජනතාවට සහන ලබා දෙන්න කටයුතු කළා.

අද වනවිට අපේ රට ලෝකයට ණයවෙලා. එම ණය ගැනීම් සිදු වුණේ 2005 – 2015 යන කාලවලදී. අපි ගත්ත ණයවලින් ඩොලර් බිලියන විශාල ප‍්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලයේ. එසේ අරගෙන කිසිම ප‍්‍රයෝජනයක් නැති ව්‍යාපෘති ආරම්භ කළා. හම්බන්තොට වරායක් හැදුවා ඒක තාම වේලි වේලි තිබෙනවා. මත්තල ගුවන්තොටුපළ, සූරියවැව ක‍්‍රීඩාංගණය, හම්බන්තොට සම්මන්ත‍්‍රණ ශාලාව, නෙළුම් කුලූන වැනි කිසිම වැඩකට නැති ජනතාවට ප‍්‍රතිලාභ නොලබන දේවල් කළා. ඒවගෙන් විශාල කොමිස් මුදල් ලබා ගත්තා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජිබර් රහුමාන් මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment