ඉන්ධන පෝලිමේ තිරිසන්නු අචිර පුතු ඩැහැ ගනිති

295

මාගාල්ල අයි. ඕ. සී. ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ තිබූ වැගන් ආර් මෝටර් රථයකට ඉදිරියෙන් තවත් මෝටර් රථයක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් දෙපිරිසක් අතර ඊයේ (08 දා) අලුයම 1.00ට පමණ ඇතිවූ ගැටුමක් දුරදිග ගොස් කඩු, කිණිසි හා තියුණු ආයුධවලින් පහර දීමෙන් එක් අයකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ අක්මීමන උඩුමුල්ලවත්ත, යටගල, වංචාවල ප්‍රදේශයේ පදිංචි ඩී. ඩබ්ලිව්. අචිර සාලින්ද (25) නමැති කොතලාවල ආරක්ෂක පීඨයේ ඉංජිනේරු අංශයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙකි. මියගිය අයගේ සහෝදරයකු වන ඩී. ඩබ්ලිව්. උදයකාන්ත, වැගන්ආර් මෝටර් රථයේ හිමිකරු වන චාමර හසිත පරණවිතාන සහ පහර දීම සිදුකළ පාර්ශ්වයේ අයකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මියගිය පුද්ගලයාගේ මිතුරකු වන වැගන්ආර් මෝටර්රථයේ හිමිකරු මාගාල්ල අයි. ඕ.සී. ඉන්ධන පිරවුම්හලේ දින හතරක පමණ කාලයක සිට මෝටර්රථය නතර කර ගෙන ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිට ඇත. මියගිය පුද්ගලයා තම සහෝදරයා සහ ඔහුගේ බිරිඳ සමග ඉන්ධන පෝලිමේ සිටි මිතුරා හමුවී තේ පානය කිරීම සඳහා දෙවට ප්‍රදේශයේ ආපනශාලාවකට ගොස් ඇත. මොවුන් තේ පානය කර ඉන්ධන පෝලිමට විත් බලන විට වැගන්ආර් රථයට ඉදිරියෙන් තිබූ හිඩස තුළ මෝටර් රථයක් නතර කර තිබී ඇත. මේ පිළිබඳ මොවුන් විමසා ඇති අතර එහිදී ගැටුමක් ඇතිවී තිබේ. පෝලිමට පිටින් මෝටර් රථය නතර කළ පුද්ගලයා ඔහුගේ මිතුරකුගේ නිවස අසල මෝටර් රථය නවතා තිබූ අතර මිතුරා ද මෙම ගැටුමට මැදිහත් වී ඇත. මොවුන් මුලින්ම මියගිය අයගේ සහෝදරයාට පහර දී ඇති අතර ඔහුගේ වාහනයට ද පහර දී අලාභ හානි සිදුකර ඇත. පසුව මියගිය පුද්ගලයා ද ගැටුමට මැදිහත් වී ඇත. පසුව ඔහුට කඩු කිණිසිවලින් පහර දී ඝාතනය කර ඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි. මොහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මියගිය තරුණයාගේ මව හා පියා යන දෙදෙනාම මියගොස් ඇත. පියා යුද හමුදා නිලධාරියකු වන අතර ඔහු ජයසිකුරු මෙහෙයුමේ දී මියගොස් ඇත. මව ගුරුවරියක වූ අතර 2015 වර්ෂයේ දී ඇය ගාල්ලේ වූ රිය අනතුරක දී මියගොස් ඇත.

මිය ගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි. මෙකී ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු තවත් සැකකරුවන් කිහිපදෙනකු ඝාතනය කිරීම සඳහා යොදාගනු ලැබූ කඩු කිණිසි සමග අත්අඩංගුවට ගෙන ඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.

ගාල්ල වරාය පොලිසියේ ස්ථානාධිපති දුමින් කුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි – ගාල්ල සහ හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment