අවිස්සාවේල්ලේ ද්විත්ව ඝාතනය මන්නා රමේෂ්ගේ වැඩක්

476

පළිගන්න එකට එක කරලා

අවිස්සාවේල්ල තල්දූව ගුරුපස්ගොඩ ප්‍රදේශයේදී සන්නද්ධ පාතාල සාමාජිකයන් දෙදෙනකු විසින් ත්‍රිරෝද රථයක යමින් සිටි තරුණයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනකුට බරපතළ තුවාල කිරීමේ සිද්ධිය ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ‘මන්නා රමේෂ්‘ නමැති පාතාල නායකයාගේ මෙහෙයවීමෙන් ඔහුගේ ගෝල බාලයන් විසින් සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

පෙරේදා (20 වැනිදා) රාත්‍රි 11.00 ට පමණ සිදුවූ මෙම ප්‍රහාරයෙන් ඝාතනයට ලක්ව ඇත්තේ තල්දූවේ පදිංචිකරුවන් දෙදෙනකු වන 38 හැවිරිදි ධනුෂ්ක ප්‍රේමලාල් සහ 27 හැවිරිදි ඉසංක මධුෂාන් යන අය බව පොලිසිය පවසයි.

මීට මාස 6 කට පමණ උඩදී අවිස්සාවේල්ල තල්දූව මංසන්ධියේදී මන්නා රමේෂ්ට සහ ඔහුගේ සොහොයුරුට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර තිබිණි. එම සිද්ධියෙන් පසු මන්නා රමේෂ් ඩුබායි රාජ්‍යයට පලා ගිය අතර ඔහුගේ සොහොයුරා මේ වන විටත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි. එම ප්‍රහාරය එල්ල කිරීමේ සිද්ධියට පෙරේදා රාත්‍රි ඝාතනයට ලක්වූ තරුණයන් සම්බන්ධ බව පොලිසිය පවසයි.

මෙම ප්‍රහාරයට එකට එක කිරීමක් ලෙස මන්නා රමේෂ් ගේ නියෝග සහ උපදෙස් මත මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය පවසයි.

මෙම ප්‍රහාරයට ලක්වූ තරුණයන් සිව් දෙනාගෙන් එක් අයකු මැණික් ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමේ සිද්ධියක සැකකරුවෙකි. තවත් අයකු ප්‍රදේශයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය අලෙවි කිරීම්වලට සම්බන්ධ අයකු බව පොලිසිය පවසයි.

ප්‍රහාරයට ලක්වූ තවත් තරුණයකු අවිස්සාවේල්ල ප්‍රදේශයේ මැණික් පතල් කර්මාන්තයට සම්බන්ධවී සිටින අයෙකි. මෙම තරුණයන් පිරිස පෙරේදා රාත්‍රි ඉහළ තල්දුව ප්‍රදේශයේ අවමංගල්‍යකට සහභාගි වීම සඳහා ත්‍රිරෝද රථයක යමින් සිට ඇත. තල්දුව ගුරුපස්ගොඩ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථය පසුපස යතුරුපැදියකින් පන්නාගෙන ආ සන්නද්ධ පාතාල සාමාජිකයන් දෙදෙනකු ටී 56 අවියකින් වෙඩි වරුෂාවක් එල්ල කර තිබේ.

ප්‍රහාරයෙන් තරුණයන් දෙදෙනකු සිද්ධිය වූ ස්ථානයේම මරුමුවට පත්වූ අතර තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

මන්නා රමේෂ්ගේ පාතාල කල්ලියේ වෙඩික්කරුවන කලක් බන්ධනාගාර ගතව සිට මීට සති 2 කට පමණ උඩදී ඇපමත පැමිණ සිට ඇති බව පොලිසිය පවසයි.

එම වෙඩික්කරුවා විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, කෑගල්ල නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්‍ෂ, සීතාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයසිරි යන කොඩිතුවක්කු මහත්වරුන්ගේ අධීෂක්‍ෂණයෙන් විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුනු

advertistmentadvertistment
advertistmentadvertistment