අවුරුදු 16 ක් තිස්සේ දියණිය අතුරුදන් ආනන්දපුරම් විජයලක්‍ෂ්මී බීබීසියට කියයි
“අපි යුද්ධවලට කැමති නැහැ. ආයිත් ඒ වගේ යුද්ධ එපා. ඉන්න දරුවෝ ඔක්කොම හොඳින් ඉන්න ඕනේ” යනුවෙන් කිළිනොච්චිය නගරයට ආසන්නවම පිහිටි ආනන්දපුරම් ගම්මානයේ වෙසෙන යෝගේෂ්වරම් විජය ලක්ෂ්මි මහත්මිය පවසයි.
ඇගේ දියණිය අවුරුදු 16 තිස්සේ අතුරුදන්ව ඇත. ඇය මේ කරුණු හෙළිකර තිබුණේ බීබීසී සිංහල සේවය හමුවේය.
යෝගේෂ්වරම් අනූෂා විජය ලක්ෂ්මිගේ දියණියයි. කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ සිසුවියක වන ඇය අතුරුදන් වන විට 18 හැවිරිදි වියේ පසුවූ බව විජය ලක්ෂ්මි සඳහන් කළාය.
“ගාසාවල, ඉන්දියාවේ, පාකිස්තානයේ දැන් රණ්ඩු කරනවා. ඒ රණ්ඩු කොහොමද කියලා මං දන්නේ නැහැ. ඒ රණ්ඩු නෙමේ අපි දැක්කේ. මැරිච්ච අයගේ ඇඟ උඩින් කකුල තියලා අපි ගියේ. අපි යුද්ධවලට කැමති නැහැ. ආයිත් ඒ වගේ යුද්ධ එපා. ඉන්න දරුවෝ ඔක්කොම හොඳින් ඉන්න ඕනේ. මේ ඉන්න දරුවෝ රණ්ඩු නැතිව සංතෝෂයෙන් මේ භූමියේ ඉන්න ඕනේ. රණ්ඩුවට අපි කවුරුත් කැමති නැහැ. අපි කොච්චර දුක්වින්දා ද? අපිට රණ්ඩු එපා” ඇය කියයි.
චතුර පමුණුව