මීගහකිවුල අරාව පාර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුරදිග යෑමෙන් සිදුවූ පහරදීමකින් බරපතළ තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනකු හා දේවාලයක කපු මහතකු ඊයේ (11දා) අලුයම මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධියෙන් තවත් දෙදෙනකු පමණ සුළු තුවාල ලබා ඇත.
සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ මීගහකිවුල අරාව පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 61 හා 38 ක කාන්තාවක් සහ අවුරුදු 41ක පුද්ගලයෙකි.
එකම පවුලක ඥාතීන් දෙපිරිසක් අතර ඉඩමක් සම්බන්ධයෙන් පැවැති පැරැණි කෝන්තරයක් දුරදිග යෑමෙන් පහරදීම සිදුව ඇත.
සිද්ධිය වීමට පැයකට පමණ පෙර පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංකය වෙත ලද ඇමතුමක් අනුව කන්දකැටිය පොලිසියේ නිලධාරීහු පිරිසක් පැමිණ දෙපාර්ශ්වය සමතයකට පත්කර ඇතත් පොලිසිය පිටව යෑමෙන් පසුව දෙපිරිස අතර ගැටුම යළි උත්සන්න වීමෙන් පසු මෙම පහරදීම සිදුව ඇත.
තමුන් දේවාලයක් පවත්වාගෙන යන බවත් දේවාලයේ කටයුතු හමාර කොට රාත්‍රී ආහාරය ගැනීම සඳහා නිවසට පැමිණ සිටියදී පිරිසක් පැමිණ තමුන්ට පහර දුන් බව බවත් දේවාලයේ කපු මහතා පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
කන්දකැටිය – ජී. චතුරංග