ඇමරිකාවේ ජනාධිපති තාත්තා පුතාගේ වරද පිළිගනී

496

වරදකරුවකු වුණොත් සමාව නොදෙමි

අභියාචනයකට ඔහුට අයිතිය තිබෙනවා – බයිඩන්

ඒත් මතින් මිදෙන පුතාට පියකු ලෙස මම ආදරෙයි

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත් හන්ටර් බයිඩන් හෙරොයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයකු බව හෙළිදරව් නොකර නීති විරෝධී අයුරින් ගිනි අවියක හිමිකාරිත්වය ලබා ගැනීම ඇතුළු චෝදනා තුනකට වරදකරු කිරීමට ඇමරිකානු අධිකරණයක් විසින් පෙරේදා (11 දා) පියවර ගෙන තිබේ.

ඇමරිකාවේ ජනාධිපති තාත්තා පුතාගේ වරද පිළිගනී
නඩු තීන්දුවෙන් පසු පුතා තාත්තා වැළඳගනියි

බලයේ සිටින ඇමරිකානු ජනාධිපතිවරයකුගේ පුත්‍රයා එල්ල වී ඇති චෝදනාවලට වරදකරු කරමින් ඓතිහාසික තීන්දුවක් ලබා දී ඇති ඇමරිකා එක්සත් ජනපදයේ ඩෙලවෙයාර් අධිකරණය ඔහුට නියම කරන දඬුවම දින 120ක් ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. 2018 වසරේදී හන්ටර් කුඩා තුවක්කුවක් මිල දී ගෙන ඇත්තේ කොකේන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටියදී බව අනාවරණය වී තිබේ.

ඇමරිකාවේ නීතියට අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවකු ඒ බව සඟවා නීති විරෝධී අයුරින් ගිනි අවියක් මිලදී ගෙන ළඟ තබා ගතහොත් එම වරදට නියම කළ හැකි උපරිම දඬුවම වසර 25ක සිර දඬුවමකි. එහෙත් ඇමරිකානු නීතිවේදීන් විසින් පෙන්වා දී ඇත්තේ ජනාධිපති පුත්‍රයා මේ වන විට පුනරුත්ථාපනය වී මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදෙමින් සිටීම හේතුවෙන් ඔහුට නියම විය හැකි සිරදඬුවම වසර 25ට අඩු විය හැකි බවයි. තවත් නීතිවේදීන් පිරිසක් පෙන්වා දී ඇත්තේ ගිනි අවියක් නීති විරෝධී අයුරින් ළඟ තබා ගැනීමේ වරදට 54 හැවිරිදි වියෙහි පසුවන හන්ටර් බයිඩන්ට සිර දඬුවම් හිමි නොවනු ඇති බවයි.

ඇමරිකාවේ ජනාධිපති තාත්තා පුතාගේ වරද පිළිගනී

මේ අතර ඩෙලවෙයාර් අධිකරණයේදී හන්ටර් බයිඩන්ට එරෙහිව පැවැති නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශ පත් කරන අවස්ථාව නැරඹීම සඳහා පැමිණ සිටි 81 හැවිරිදි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීන්දුව ප්‍රකාශ වීමෙන් පසු මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ සිය පුත්‍රයාට එරෙහිව පවතින චෝදනා තමන් පිළිගන්නා බවත් හන්ටර් ඔහුට එරෙහිව ප්‍රකාශ වී ඇති තීන්දුව සම්බන්ධයෙන් දින 30 ක් ඇතුළතදී අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත්ය. කෙසේ වුවද සිය පුත්‍රයාට ඔහුගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් සමාව දෙන්නේදැයි මාධ්‍යවේදීන් නැගු පැනයට පිළිතුරු දෙමින් ජනාධිපති බයිඩන් පවසා ඇත්තේ එසේ නොකරන බවයි. ‘මා ඇමරිකාවේ ජනාධිපති මෙන්ම පියෙකි. තමන් ආදරය කරන පවුලේ සාමාජිකයකු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින විට ඔවුන් එම තත්ත්වයෙන් මිදෙනවා දැකීමට ඕනෑම අයකු කැමැත්තක් දක්වනවා’ යැයි ජනාධිපතිවරයා පවසා තිබේ. නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සිය පුත් හන්ටර් බයිඩන් තරයේ වැළඳගෙන ඇති ඇමරිකානු ජනාධිපතිවරයා තමා සිය පුත් හන්ටර්ට මේ මොහොතේ සිය ආදරය හා සහය ලබා දෙන බව පවසා තිබේ. වෘත්තියෙන් නීතිඥවරයකු වන හන්ටර් බදු නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට ද ලක්ව සිටින අතර ඔහුට ඒ සම්බන්ධයෙන් වසර 17ක සිර දඬුවමක් හිමි වනු ඇතැයි නීතිවේදීන් පවසා තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment